husband-wife-salary-issue

විවාහක යුවළකගේ ආදරය සමගිය දරුවන් පිළිබඳ කටයුතු සියල්ල පවුලේ ආර්ථිකය මත රඳාපවතින යුගයකට දැන් අප පිවිස තිබේ. වැව් බැඳී පෙදෙසේ එච් 4 කලාපය අයත් මහවැලි ගම්මානයකින් අසන්නට ලැබෙන මේ කතාවෙන් කියැවෙන්නේද එයයි.

ඇය විශ්‍රාමික ගුරුවරියකි. එකම පුත්‍රයා සුළුවෙන් පෞද්ගලික පංති පවත්වාගෙන යන ඉංග්‍රීසි ගුරුවරයෙකි. මව හා පුතා ඔවුන් සතු මහගෙදර වාසය කරති. ඔහු තරුණ වියේ දි විවාහ වූයේය.

ඔහුගේ සහකාරිය වූයේ රාජ්‍ය සේවාවේ නියැලෙන ගුරුවරියකි. දෙදෙනා සතුටින් වාසය කළ අතර දරුවෙකුද ලැබිණි. මේ අතරවාරයේ බිරියගේ මව ගෙන්වාගන්නට බිරිය කටයුතුකලේ දරුවාගේ වැඩ සඳහා උදව්වටය. සැමියාගේ මවත් බිරියගේ මවත් දරුවාගේ වැඩ බලන අතර බිරිය ගුරු සේවයට ගියාය.සැමියා පන්ති කරන්නට ගියේය. දරුවා බලා ගැනීමට නැන්දම්මා හා අම්මා දෙන්නාම එක සමාන දායකත්වයක් ලබාදුන් නමුත් මුදල් ප්‍රශ්නයක් නිසා ආරවුලක් හට ගැනිණි.
ගුරු බිරිය ලබන වැටුපෙන් මාසිකව රුපියල් 5000 ක් ඇය තම අම්මාට දුන්නේ නිවසේ අඩුපාඩු සපුරා  ගැනීමට කියාය. සැමියාගේ අම්මා විශ්‍රාම වැටුපක් ලබන නිසා නැන්දම්මාට මුදල් ගෙවීමට අවශ්‍ය නැතැයි ඇය තීන්දු කළාය.නැන්දම්මා පරළ වූවාය. ඇය වරින්වර මේ ගැන කතා කියූ අතර සැමියාද ඇගේ පැත්ත ගත්තේය.
 සැමියා හා සැමියාගේ  මව මේ සල්ලි ප්‍රශ්නයට මැදිවූ අතර බිරියට හා ඇගේ මවට දෙන්නාම එරෙහි වූහ. ගැටුම දුර දිග ගියේය. අවසානයේ ඇය ඔහුගෙන් වෙන්ව තම සිඟිත්තිය හා අම්මා කැටුව තම නිවසට ගියාය.


විරසකය එන්න එන්න වැඩිවූ අතර බිරිය යළි පැමිණියේ නැත. පසු කලෙක ඇය ඔහුගෙන් දික්කසාද වූවාය.දරුවාද ඇය වෙත තබාගත්තාය.
නිවසේ තනි වූ පුතා යළි විවාහයක් කර ගත්තේය. නව බිරිය කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන තැනැත්තියකි. ඇයටද දරුවකු ලැබුණි.
ඇය දරු ප්‍රසුතියෙන් පසුව දරුවා රැගෙන තම මහගෙදරට ගියාය. දරුවා සැමියා බාරයේ හෝ සැමියාගේ මව භාරයේ නොසිටි අතර එවර පෙර ආකාරයේ ප්‍රශ්නයක් ඇතිනොවීය. නමුත් දරුවා තරමක් ලොකුවූ පසුව නැවත නිවසට කැටුව ආ ඔවුන් ටික කලක් සමගියෙන් සිටි අතර වැඩිකල් නොගොස් නැවත ප්‍රශ්න මතුවූයේ වැටුප ගැන කියාය.
නැන්දම්මා පුතාව අවුස්සමින් බිරියගේ වැටුපින් පවුලට කිසිදු දායකත්වයක්නැති බව පෙන්වා දුන්නාය.
ඇය තමා ලබාගන්නා වැටුප සම්පූර්ණයෙන්ම තම මවට දෙන බව සැලවී තිබේ. ඇයට තවත් සහෝදරියන් දෙදෙනෙකු සිටින නිසා ඔවුනගේ අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට වෙනත් කිසිවකු නැති නිසා එය සිදු කර තිබේ.
 ඇයගේ වැටුප සැමියාට කිසිම දිනක නොලැබෙන නිසා එම දීගයත් දෙදරා ගියේ නැන්දම්මා යුද ප්‍රකාශ කළ නිසාය.
පළමු බිරිය තම වැටුපෙන් කොටසක් ගත් නිසා ගෙදරින් පන්නා දැමූ පසු, දෙවැනි බිරියගේ මුළු වැටුප ම නැතිව යන එන මං නොමැතිවූ පසු ඇයද පළවාහරින්නට කටයුතු කරේ රන්ඩු සරුවල් අවසානයේය.
මහළු මවත් පුතාත් නැවත මහගෙදර ඉතිරිවූ අතර පුවත්පතේ දැන්වීමක් පළ කර තිබුනේ ‘රැකියාවැති නිවසට වියදම් කළ හැකි මනාලියක‘ සොයන බව දක්වමිනි.