indian-egg-30

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30  බැගින් බේකරි හිමියන්ට  ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු  බේකරි නිෂ්පාදනවල මිල අඩු කිර්මට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව බිත්තර ලක්ෂ විස්සක ප්‍රමාණය බේකරි හා කේක්  නිෂ්පාදනවලට ප්‍රමාණවත්  වන්නේ දින දෙක තුනක කාලයකට පමණක් බවද එම  සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.  නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය හා නිෂ්පාදකයා පවා සඳහන් විදේශ රටවලින් ගෙන්වූ  සැමන් වර්ග කිහිපයක් ප්‍රමිතියෙන් තොර බවට  තහවුරු වී ඇති බවත්,  නිෂ්පාදිත දිනයක් හෝ කල් ඉකුත් වීමේ දිනයක්  නොමැතිව ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර හරහා යම් සෞඛ්‍ය ගැටලු පවා ඇති විය හැකි බවත් ඔහු  පවසා සිටියේය.



බේකරි හිමියන්, ආපන ශාලා හිමියන්, හෝටල් හිමියන් සහ රටේ ජනතාවද විදේශ රටවලින් ගෙන්වන සැමන් භාවිත කරන බවත්, මේ නිසා අදාළ සැමන් තොග පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඒ මහතා පවසාසිටියේය.  බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය, විදුලි බිල සහ ගෑස් මිල ඉහළ යෑම නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා දවසක් දෙකක් අඩු මිලට බිත්තර  ලබාදුන් පමණින් බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමට  නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.   මේ අතර, ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර කල්  ඉකුත් වන දිනයක් පිළිබඳ නොදන්නා නිසාත්, එහි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ නොදන්නා නිසාත් බොහෝ බේකරි හිමියන්  විදේශ රටවලින් ගෙන්වන  බිත්තර මිලදී නොගැනීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් කුඩා හා මධ්‍ය  පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.



දේශීය වශයෙන් බිත්තර තොග ලබාගැනීමේදී තොග සැපයුම්කරුවන් හරහා කිකිළි බිත්තර දමා තිබෙන දිනය වකවානු පිළිබඳ තහවුරුවක් ලබා ගැනීමට හැකි බවත්, මේ අනුව බිත්තරයක් භාවිත කළ හැකි දින ගණන බේකරි හිමියන් දන්නා බවත් එම සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා සඳහන් කළේය. ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමිතියෙන් තොර වුවහොත් දැනට ක්‍රියාත්මක වන බේකරි  ටික පවා වසා දැමීමට සිදුවන බවත්, මේ නිසා දේශීය බිත්තර කර්මාන්තය  වැඩිදියුණු කිරිමට බලධාර්න් කටයුතු කළ  යුතු බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ  සංගමය හා දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ  බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එච්.අයි. තුෂාර