indian-visa-madam

පසුගියදා කොළඹ තුන්මුල්ලේ පිහිටි ඉන්දියානු වීසා ලබාදෙන කාර්යාලයේ මහරෑ සොරකමක් සිදුවිය. මේ හේතුවෙන් කාර්යාලය දින කීපයකට වසා දමන්නටද සිදු විය. මහ රෑ ආයතනයට ඇතුළුවූ සොරුන් සොරකම් කර තිබු වටිනාම දේ අතර විශේෂ පරිගණක කිහිපයක් තිබුණි.ඒවායේ දත්ත වල වටිනාකම ඉහළය. ඔවුන්ගේ පැමිණීම සටහන්ව තිබෙන සීසීටීවී යන්ත්‍රවල දෘඩ තැටි ගලවාගෙන යන්නටත් ක්‍රියා කර තිබුණි.
මෙම සොරකම සිදු කරන්නට මුල්වී තොරතුරු සැපයූ තේ හදන කාන්තාව හා ඇගේ අනියම් පෙම්වතා ඇතුළු කණ්ඩායමක් මේ වනවිට අත්අඩංගුවට පත්වී ඇත. මේ අය ලවා සොරකම සිදුකරවා ඇත්තේ සියල්ලට ඉහලින් සිටින ‘මැඩම්‘ කෙනෙකු බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේ. ඇයට ආයතනයේ පරිගණක දත්ත වසන් කිරීමට අවශ්‍යතාවක් මත මෙම සොරකම සිදුකරවා ඇති බවටද තොරතුරු හෙළිවෙමින් පවතී.

මෙම සිදුවීම සිදුවූයේ ඉකුත් 15 වැනිදා අලුයම 3 ට පමණය.

තම ආයතනයේ කළමනාකාරිණිය භාවිත කළ ලැප්ටොප් පරිගණකය සහ සී සී ටී වී දර්ශනවලට අදාළ ඩී වී ආර් යන්ත්‍රය ඇතුළු දේපල සොරා ගෙන ඇති බවට බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ එම ආයතනයේ දෙවැනි කළමනාකාරිණිය වන සුරේෂ් කුමාරි සුභාෂිණී යන අය විසිනි. පැමිණිල්ලෙන් පසු වහා ක්‍රියාත්මක පොලීසිය අදාළ ආයතනය අවට සී සී ටී වී කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමට පටන් ගත්තේය. සී සී ටී වී දර්ශන වලට අනුව මෙම සැකකරුවන් පැමිණ තිබුණේ රතු පැහැති ත්‍රීරෝද රථයකින් බවත් සොරකම සඳහා සැකකරුවන් තිදෙනකු පැමිණ ඇති බවත් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබිණි. සී සී ටී වී කැමරා පද්ධති නිරික්ෂණය කරමින් සිටි පොලිසියට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තවත් තොරතුරක් ලැබිණි. එම ඔත්තුවට අනුව පොලීසිය මුලින්ම අත්අඩංගුවට ගන්නේ ‘චන්දන' නමැති සැකකරු ය.
“ අනේ සර්, මම මේක කළේ වික්‍රමසිරි කියපු නිසයි සර්"
එතැන් සිට වැළ නොකැඩී සොරුන්ගේ නාම ලේඛනය එළියට ගත් පොලීසිය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්තේය. එක් එක් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වල දී හෙළි වූයේ, මේ සොරකම පිටුපස සිටියේ එම ආයතනය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන කාන්තාව බවය.
“සර්, මේ ඔෆිස් එකේ දවසකට රුපියල් ලක්ෂ 50ක් 60ක් විතර සල්ලි තියෙනවා කියලා මට කිව්වේ බන්දුමතී" පොලීසිය අත්අඩංගුවට ගත් වික්‍රමසිරි යන අය පොලීසිය කළ ප්‍රශ්න කිරිම් හමුවේ ප්‍රකාශ කර තිබුණේ එලෙසිනි. ලද තොරතුරු වලට අනුව එම ආයතනයේ පවිත්‍රතා කටයුතු කරන තැනැත්තිය වන " බන්දුමතී සහ මේ කියන සැකකාර වික්‍රමසිරි යන අය අතර අනියම් ප්‍රේමයක් තිබූ බවට පොලීසිය කියයි.
මේ හේතුවෙන්ම සැකකාරිය ඔහුට මේ කොන්ත්‍රාත්තුව භාරදී ඇති බවත් එම සැකකරු මෙය චන්දන යන අයට බාර දී ඇති බවත් පොලීසිය පවසයි.


චන්දන නමැති සැකකරු තවත් පුද්ගලයන් දෙදෙනකුගේ ද සහාය ඇතිව ඉකුත් 14 වැනිදා බම්බලපිටියේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අයත් වීසා මධ්‍යස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා තිබුණත් දොරගුළු කඩා දැමීමට හෝ කාර්යාලය තුළට ඇතුළු වීමට ඔවුන්ට හැකියාවක් තිබී නැති බව පොලීසිය කියයි. පසුව ඉකුත් 15 වැනිදා අලුයම
3 ට පමණ යකඩ කඩු කිහිපයක්ද රැගෙන සැකකරුවන් අදාළ ආයතනය තුළට ඇතුළුවී තිබූ අතර සොරාගත් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බව පොලීසිය කියයි. සොරා ගත් භාණ්ඩ වල වටිනාකමට වඩා සොරුන් ගෙන ගිය භාණ්ඩවල ඇති දත්තවල ඇති වටිනාකම ඉතාමත් ඉහළ බව පොලීසිය සඳහන් කර තිබුණි. එසේ නම් මේ සොරුන් මේ දේවල් සොරා ගත්තේ ඇයි? පොලීසියේ ඊළග ගැටලුව එය විය.
සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී
මුලින්ම ඇය සඳහන් කර තිබුණේ “මැඩම් කිව්ව වැඩේ කළා” යනුවෙන් බව පොලිස් ආරංචි මාර්ගවලින් කියැවුණි. එසේ නම් මේ “මැඩම්" යනු කවුරුන්ද? මේ සේවිකාව ඉන් එහා කිසිදු වචනයක් පොලීසියට කියන්නේ නැත. කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ ආයතනයේ කවුරුන් හෝ නිලදරුවකුගේ සෘජු දායකත්වයක් ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව බම්බලපිටිය පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ ඉකුත් 22 වැනිදා කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.
මෙම සැකකරුවන් සොරාගත් ලැප්ටොප් පරිගණකය සහ ඩිජිටල් කැමරාව ඔවුන්ගේ නිවෙස්වල තිබී ඇති අතර සී සී ටී වී දත්ත පද්ධතියේ ඩී වී ආර් යන්ත්‍රය කිරුළපන ඇළක තිබී පොලීසිය සොයාගෙන තිබිණි. සොරුන් මේ ආකාරයෙන් සොරාගත් දේපල විසිකර දැමුවේ ඇයි? ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ කාගේ හෝ වුවමනාවක් ඉටු කිරිම ද? මේ අර්බුද හමුවේ පොලීසිය සිදු කළේ අදාළ ආයතනයේ ඉහළ තනතුරක් දරන තැනැත්තියකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රියා කිරිමය.



සිද්ධිය වූ දින ඇය ඔවුන්ගේ වෙනත් ශාඛාවකට ගොස් සිට ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ' මම පිටට යනවා කියලා කාටවත් කියන්න එපා' යනුවෙන් ඇය අදාළ ආයතනයේ සේවය කරන තවත් නිලධාරිනියකට පවසා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධියේ විමර්ශනය මෙතෙක් අවසන්ව නැත. මෙහි තෝරු මෝරු එළියට එන්නේ එම විමර්ශන සිදුකරමින් යද්දීය.
මෙම සිද්ධියට අදාළව පොලීසිය අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වන හපුගොඩගේ බන්දුමතී, ඉලංගන්ගේ ගාමිණී පද්ම කුමාර, මාෂල් අරුල් රාජ් නොහොත් ‘බාබු', ලියනආරච්චිගේ උපුල් ප්‍රියන්ත නොහොත් ' චන්දන ' සහ ලියනගේ වික්‍රමසිරි කුමාර යන අය ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය
සොරකමේ අරමුණ දත්ත සොරාගැනීමක් වියහැකි බවට පොලිසිය දැන් සැකකරන අතර සොරකම පසුපස සිටින ‘මැඩම්‘ ගැන විමර්ශන සිදුකරයි.


 ‍තොරතුරු - නිමන්ති රණසිංහ