janaka-rathnayake-speaKS

මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට රැස්වී, තම අනුදැනුමක් නොමැතිව සහ නිසි ගණනය කිරීමකින් තොරව නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුව නොපිළිගන්නා බවත් එයට එරෙහිව සභාපතිවරයා ලෙස සියලුම නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා 16 දා පස්වරුවේ  පැවසීය.



විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් රැස්වීම පවත්වා ඇත්තේ ද නිශ්චිත ගණපූරණයකින් තොරව බව ද හෙතෙම සඳහන් කළේය. විදුලි බිල සංශෝධනය කරන ආකාරය පනතේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව කී ඒ මහතා සඳහන් කළේ 2008 දී විදුලිබල මණ්ඩලය වැරැදි ආකාරයට කළ විදුලි බිල සංශෝධනයක්  ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළ බවත්ය. අඩු ආදායම් ලබන පාරිභෝගිකයන්ට සහන ලබාදිය යුතු බවත් ඒ සඳහා තීරණය විදුලි බල විදුලිබල මණ්ඩලයට ගත නොහැකි මෙන්ම එම තීරණය මහජන උපයෝගිතා කොමිසමේ කාර්යයක් බවත්  ඒ මහතා කීය.



සිය කාර්යාලයට  මුද්‍රා තැබීමට අධිකරණය දුන් නියෝගයට කිසිදු විරෝධයක් නොමැති බවත් එය ඉතාමත් හොඳ නියෝගයක් බව කී රත්නායක මහතා එසේ  නොවුණේ නම් තුන්වැනි  පාර්ශ්වයක් සිය කාර්යාලයට මොනව හරි දමා තමන් හසුකිරීමට ඉඩ තිබූ බව ද සඳහන් කළේය.  කාර්යාලය මුද්‍රාතැබීම සම්බන්ධයෙන් පොලිස්  ස්ථානාධිපතිවරයාට සහ දේශපාලන අධිකාරියට ස්තූතිය පළකරන බවත් රජයේ මේස සහ පුටු ප්‍රතිපත්තියක් ලෙස පාවිච්චි නොකරන නිසා මුද්‍රා තැබූ කාර්යාලයේ මේසය සහ පුටුව හැර සෙසු සියලුම දේ රජයට අයිති දේපළ බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. විදේශගතව සිටින ජනක රත්නායක මහතා 'සුම් ' තාක්ෂණ ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්මින් 16 දා පස්වරුවේ එසේ පැවසීය.

 යොහාන් භාසුර