kalubowila-girl-death

ඊයේ (17) සවස අවාසනාවන්ත ලෙස සිඟිති දියණියක මරණයට පත්වූ පුවතක් කලුබෝවිල රූබන් පීරිස් මාවත ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. නිවසක වාහනයක ගරාජය හැර මෝටර් රථයක් එළියට ගන්නට යන අවස්ථාවේ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම නිසා වාහනයට සිඟිති දැරියක යටවී බරපතල තුවාල ලබා තිබෙන අතර පසුව ඇය රොහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.


වාහනය එළියට ගැනීම සිදුකර ඇත්තේ මියගිය වයස එකහමාරක්වූ දැරියගේ මාමාය. ඒ දෙන්නාම එකම නිවසේ පදිංචිව සිටි අයයි.
මාමා නිවසින් පිටවී යෑමට සූදානම්ව තම මෝටර් රථය නිවස ඉදිරිපිට, ගරාජයෙන් පිටතට ගැනීමේ දී මෝටර් රථය ඉදිරියට පැමිණි දැරියව බෆරයට සහ පොළවට  තෙරපීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත..
අනතුර සියැසින් දුටු  නිවසට පැමිණ යතුරු පැදියෙන් පිටවීමට ගිය පුද්ගලයෙකු ඒ බව සැකකාර රියදුරුට දැනුම් දීමත් සමග ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර නැවතත් දැරියව තෙරපී ඇතැයි පොලිසිය කියයි..
වහා ක්‍රියාත්මක වූ නිවැසියන්  දැරියව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (17) අළුයම මියගොස් ඇති බව පොලිස් නිලධාරියකු පැවැසීය.


අනතුර සිදු වන ආකාරය නිවසේ සවි කර තිබූ  සීසීටීවී කැමරාවේ මනාව සටහන්ව ඇති බවත් අනතුර සිදු වූ ස්ථානයේ කිසිදු ලේ පැල්ලමක් දක්නට නැති බවත්  පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ  වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ  මහත්මිය මූලික පරීක්ෂණ සිදුකර  මෝටර් රථය පොලිස් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ සුවයිරා මොහොමඩ් මුස්තාක් දැරියයි.. මෝටර් රථය පැද වූ දැරියගේ මවගේ සහෝදරයා වන
28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත..
අනතුර සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.