kalutara-brother-killer

කළුතර පළාතොට ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයකු පෙරේදා (07දා) නිවසේදී මන්නයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ 14 හැවිරිදි බාලසොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ. නිවසේ මාපියන් නැති අවස්ථාවක සොයුරා සමග ඇතිවූ බහින් බස්වීමකින් පසු මෙලෙස බාල සොයුරා වැඩිමල් සොයුරාව ඝාතනය කර තිබුණි.




කළුතර, පළාතොට, විජ්යගම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මෙම දෙසොයුරන් අතර ආරවුලට මුල පෙම් හසුන් හුටපටයක් බව දැන් අනාවරණයවී තිබේ.

බාල සොයුරා දින කිහිපයකට පෙර ප්‍රදේශයේ තරුණියකට පෙම්හසුනක් ලබාදී ඇති බවත් එම සිදුවීම නිවැසියන්ට සැලකිරීමට වැඩිමල්සොයුරා ගත් උත්සාහය ඝාතනයට මුල්වී ඇති බවත් වාර්තාවේ.
පෙම්හසුන ලබාදුන් තරුණිය ඇගේ පියාට ඒ බව දැනුම් දී ඇති අතර එය තරුණියගේ පියා තරුණයාගේ සොයුරා හරහා පියාට දැනුම් දී තිබේ. පෙම් හසුන ගැන අවවාද දෙමින් උරණ වූ වැඩිමහල් සොහොයුරා පෙරේදා (07දා) උදෑසන බාලසොහොයුරා සමග ආරවුලක් ඇති කරගෙන තිබූ බවට තොරතුරු ලැබී ඇත.


 අනුරුද්ධ ධනංජය ද සිල්වා නමැත්තා මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.  
ඝාතනයට ලක්ව ඇති වැඩිමහල් සොහොයුරා රාත්‍රී කාලයේ සිය ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් ගොස් නිවසේ ඉදිරිපස කාමරයේ නිදා සිටියදී මුළුතැන්ගෙයි තිබූ තියුණු ආයුධය රැගෙන කාමරයට පැමිණ ආරවුල අතර ගෙලට පහරදී ඇති බව සැකකරු පාපොච්චාරණය කර තිබේ. සිද්ධිය අවස්ථාවේ නිවසේ පියා රෝහල් ගතව සිටි අතර මව ඔහු බැලීමට ගොස් සිටි බව කියැවිණි.
ඝාතනයට යොදාගත් ලේ  තැවරුණු මන්නා පිහිය නිවස පිටුපසට විසිකර තිබියදී හමුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පොලීසිය එදිනම පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.