kanjipani-oman

මන්නාරමේ සිට බෝට්ටු මගින් ඉන්දියාවට පලාගිය මත්කුඩු ජාවරම්කරුවකු  මෙන්ම පාතාලයේ නායකයකු ලෙස සැලකෙන මොහොමඩ්  නජිබ් මොහොමඩ් ඉම්රාන් හෙවත්  කංජිපානි ඉම්රාන් නමැත්තා  ඕමානයේ සැඟවී සිටින බවට තොරතුරු හෙළිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.   කංජිපානි ඉම්රාන් නමැත්තා ඉන්දියාවේ සිට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස්කරගෙන නේපාලයට පලා ගොස් එහි සති කිහිපයක් රැඳී සිට ඕමානයට ගොස් ඇති බවත්, ඔහු ඇතුළු පාතාල ක්‍රියාකාරීන් රැසක් සීමාන දේශසීමාවේ රැඳී සිටින බවට තොරතුරු හෙළි වූ බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.



ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව ඔහුට ඩුබායි රාජ්‍යයට ඇතුළු වීමට අවසර නොදීම හේතුවෙන් ඔහු මෙලෙස ඩුබායි හා ඕමානය  අතර දේශසීමාවේ රැඳී සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 2019 වසරේ පෙබරවාරි 05 දින ඩුබායි හී සුපිරි හෝටලයක සාදයක් පැවැත්වෙමින් තිබියදී එරට පොලිසිය හා අගමන විගමන නිලධාරීහු එක්ව හෝටලය වටලා මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් 20 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත්හ.

ඩුබායි රාජයෙන් 2019 මාර්තු 26 වැනිදා කංජිපානි ඉම්රාන් මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව කටුනායක  ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අතර

වසර දෙකකට අධික කාලයක් පුරා බන්ධනාගාර ගතව සිට ඉකුත් දෙසැම්බර් 20 වැනිදා අධිකරණයෙන් ඔහුට ඇප නියම විය.  ඇප හිමිවීමෙන් පසුව එදිනම මන්නාරමට හොර රහසේම ගිය  ඔහු මන්නාරම ඉරුක්කලපිඩ්ඩි ඥාති නිවෙසක දින දෙකක් රැඳී සිට බෝට්ටුවකින් ඉන්දියාවට පළාගොස් ඇත. ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට පසුගිය දෙසැම්බර් 25 වැනිදා ඇතුළු වී ඇති බවත් ඔහු සහ ඔහු සමග පැමිණි සගයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත්‍රික්කවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍යයද වාර්තා කර තිබුණි.
ඉන්දිකා රාමනායක