kimbulawala-street-food

කිඹුලාවල Street Food ජංගම වෙළඳ ජාලය ඉවත්කිරීමට රජය කටයුතුකරන බවට පාර්ලිමේන්තුවේදී පවා සාකච්ඡාවක් ඊයේ ඇති වුණ අතර එම වෙළෙඳ හිමියන් හා නාගරික සංවර්ධන අමාතයංශය අතර ඊයේ සාකච්ඡාවකින් පසු තීරණ කිහිපයක් ලබාගෙන ඇත.
මෙහි ප්‍රධාන ගැටලුවක් වූයේ මාර්ග අවහිරවීමත් දවල් කාලයේ අනවසර වෙළෙඳසල් පවත්වා යාම අනෙක් ඉඩම්හිමි ව්‍යාපාරිකයින්ට අවාසියක් අත්කරදීමත්ය.
ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් විදෙස් රටවල වීදි ආහාර අළෙවි සල් පවත්වන ආකාරයට පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන යාමටත් දහවල් කාලයේදී ජංගම අලෙවි සැල් එම
ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් තීරණය කර තිබේ.



එම ජංගම අලෙවිසැල් පවත්වාගෙන යන ස්ථාන පිරිසිදු කිරීම අදාල වෙළද සංගමයට පැවරෙන අතර
ජංගම වෙළඳසැල් ඉදිරිපිට පාරිභෝගික වාහන නැවතීම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි. ඒ සඳහා විකල්ප
ස්ථානයක් ලබා දීමටද පියවර ගැනේ.

කිඹුලාවල Street Food ජංගම වෙළඳසැල් හිමියන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (21) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹිණි. මෙම
සාකච්ඡාව පැවැත්වුණේ මෙම වෙළඳසැල් පෙබරවාරී 24 වනදා විට ඉවත් කරගන්නා ලෙස මාර්ග
සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දීමේ සිද්ධියක් මුල්කර ගනිමිණි.

නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාල වෙළඳ සංගමය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබෙන අතර එය මාස තුනක කාලයකට ක්‍රියාත්මකය. එම කාලය තුළ අදාල අවබෝධතා ගිවිසුම උල්ලංඝණය
කළහොත් ඒ වෙනුවට විකල්ප ස්ථානයක් හඳුන්වා දීමටද පියවර ගැනේ.

ඊයේ පාර්ලිමේන්තුවේදී මේ ගැන ඇතිවූ සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා -  පාර්ලිමේන්තුව ළඟ 'කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්' කියලා තමන්ගේ ආර්ථිකය දියුණු කර ගන්න පුද්ගලයන් තමන්ගේ ස්වයං රැකියා කරගෙන යනවා. ඔබතුමා ඒක ඉවත් කරන්න යනවා කියලා ලොකු කටකතාවක් තිබෙනවා. ඒක කරන්න එපා කියලා අපි ඉල්ලනවා.



 අමාත්‍ය ඛන්දුල ගුණවර්ධන - කටකතා විශ්වාස කරන්න එපා. මහාමාර්ග ආඥා පනත අනුව පාරවල්වල දෙපස ඉරි යොදලා මගීන්ගේ සහ වාහනවල සුරක්‍ෂිතතාවට අදාළ නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. ආඥා පනතේ තිබෙන විධිවිධානවලට අනුව ක්‍රියා කරන එකයි කරන්නේ. ඊට පරිබාහිරව පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නෑ. මේ පිළිබඳ විස්තරාත්මකව මේ ගරු සභාවට වෙනම පැහැදිලි කරන්නම්.

 අමාත්‍ය ප්‍රසන්න රණතුංග - මෙතන ව්‍යාපාර කරගෙන ගියා. මුලින් පටන් ගත්තේ සිකුරාදා, සෙනසුරා, ඉරිදා, දැන් සතිය පුරාම ක්‍රියාත්මක කරනවා. එතන පාරෙන් මෙහා පැත්තේ තිබෙන කඩවල්වලින් පැමිණිලි ඇවිල්ලා තිබෙනවා ඔවුන්ට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බෑ කියලා.


ඒ වගේම අපිරිසුදුතාව පිළිබඳවත් පැමිණිලි ඇවිල්ලා තිබෙනවා. මේ පිළිබඳ මාර්ග සංවර්ධ අධිකාරිය ක්‍රමවේදයක් සකස්කර දෙන්න කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ - එතන වාහන තදබදයකට ඉවහල් වෙනවා නම් ඒකට බොහොම සියුම් උත්තර ගන්න. ආර්ථික පීඩනයකින් මේ රට බැටකන වෙලාවක කවුරු හරි මිනිහෙක් කීයක් හරි හම්බ කරන්න දරන උත්සාහය නතර කරන්න එපා. ඒක පාපසහගත උත්සාහයක්.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග - විපක්‍ෂය හිතලු තමයි මේ ඉදිරිපත් කරන්නේ. මම වගකීමෙන් කියනවා අපි කිසිදු අවස්ථාවක මේක ඉවත් කිරීමක් කරන්න කටයුතු කරලා නෑ. මේක අපි ක්‍රමවේදයක් අනුව කරනවා මිසක් ඉවත් කරන්න කටයුතු කරන්නේ නෑ.