kithula-kanda-incident

සිය බිරිඳට ඉතා අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදු කොට පැන ගොස් සිටි බව කියන සැකකාර සැමියෙකු මේ මස 15වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්

මංජුල කරුණාරත්න මහතා පෙරේදා (08දා) පස්වරුවේ නියෝග කළේය.  ලෝලුවාගොඩ කිතුලකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එසේ රිමාන්ඩ් භාරයට පත් කැරිණි.  කිතුලකන්ද සිය නිවස තුළදී සිය විවාහක බිරිඳට ඉතා අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව නාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු  අත්අඩංගුවට ගෙන තිබිණි.



නාල්ල පොලීසියේ පොලිස් සැරයන් ප්‍රදීප් ප්‍රියන්ත මහතා කරුණු දක්වමින් පසුගිය 06වැනිදා දහවල් කුලියට පොල් කඩන පුද්ගලයෙකු සැකකරුගේ නිවසට පැමිණ මොහුගේ බිරිඳගේ මගපෙන්වීම යටතේ එම පුද්ගලයා පොල් ගසකට නැග පොල් කඩා ඇති බව කියා සිටියේය. එම පොල් ගසේ පොල් කැඞීමෙන් අනතුරුව බිරිද එම තැනැත්තාට නිවස පිටුපස තිබෙන පොල් ගසක් පෙන්වීමට ගොස් ඇති බවත් එම පුද්ගලයා එම පොල් ගස පරීක්ෂා කිරීමේදී කැඩීමට තරම් පොල් නොමැතිවීම හේතුවෙන් දෙදෙනාම ආපසු නිවස ඉදිරියට පැමිණෙමින් සිටිය දී සැකකරු නිවසට පැමිණ ඇති බවත් පොලිස් සැරයන්වරයා කීය.



මේ අවස්ථාවේ සැකකරු බිරිද  පිළිබඳව කිසියම් සැකයක් ඇති කරගෙන ඇයට ඉතා අමානුෂික ලෙස පහර දෙමින් සිටියදී අසල්වැසියන් පිරිසක් පැමිණ ඇය බේරාගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන් බවද පොලිස් සැරයන්වරයා සඳහන් කළේය. පහර දීමෙන් බරපතළ තුවාල සිදු වී ඇති එම තැනැත්තිය මේ වනවිට කුරුණෑගල මහ රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් සැරයන් වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය. පහර දීමෙන් අනතුරුව සැකකරු පැන ගොස් සිටියදී ලද තොරතුරකට අනුව පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් බවද පොලිස් සැරයන්වරයා කීය. පොලීසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කැරිණි.  නැවත කැදවීම මේ මස 15වනදාට කල් තැබිණ.  නාල්ල පොලීසියේ පොලිස් සැරයන් ප්‍රදීප් ප්‍රියන්ත මහතා පැමිණිල්ල මෙහෙය විය.

වාරණ ආනන්ද ඉ ජයකොඩි