kottawa-incident

ව්‍යාජ රන් භාණ්ඩ නිමවා නියම රන් භාණ්ඩ වලට මාරු කොට මුදල් ගරා ගැනීමේ ජාවාරමක නිරත වූ තිදෙනකුගෙන් යුත් කල්ලියක මහ මොළකරුවකු ව්‍යාජ ලෙස සකසන ලද අත් පළඳනාවක් සමග ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි ලොතරැයි අලෙවි නියෝජිතවරයකු බව   පොලීසිය කියයි. සැකකරු රනින් නිමවූ බව පවසමින් පවුම් දෙකක බරින් යුත් අත් පළඳනාවක් කොට්ටාව හොරණ මාර්ගයේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට රැගෙන විත් එය පවුම් දෙකක රන් මාලයකට මාරු කර දෙන ලෙස ඉල්ලා තිබේ.



ඒ අනුව අදාළ අත් පළදනාව නියම රත්රන් දැයි පරික්ෂා කරන ක්‍රමවේදය හරහා උකස් මධ්‍යස්ථානයක පරික්ෂා කිරීමේදී එය ව්‍යාජ අත් පළඳනාවක් බවට අනාවරණය වී ඇත.  ඒ බව ආයතනයේ හිමිකරුට දැනුම් දීමෙන් පසුව සේවකයින්ට ඔහු පවසා ඇත්තේ ගනුදෙනු කරු ඉල්ලා සිටින මාදිලියේ රන්මාලය ලබා දීමට ඊයේ 21 දා පැමිණෙන්නැයි ඔහුට පවසන ලෙසයි. ඒ අනුව අදළ සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා දැනුවත් කොට ඔහුගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට යවා තිබුණි.

ඒ අනුව පෙර පොරොන්දු වූ පරිදි ව්‍යාජ අත් පලදනාව දී නියම රන් මාලය ලබා ගැනීමට සැකකරු පැමිණි අවස්ථාවේදී

ආයතන හිමිකරුගෙන් ලද දුරකතන ඇමතුමකට අනුව ආවේෂණ රාජකාරියෙන් ආයතනය අවට රැකවලා සිටි පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී සැකකරු හා ඔහු අත තිබූ ව්‍යාජ අත් පළදනාව සහ ව්‍යාජ රන් භාණ්ඩ නිපදවීම සදහා භාවිත කරන උපකරණ කට්ටලයක්  පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් අත් පළදනාව පරීක්ෂාකර බැලීමේදී එය පවුම් දෙකක බරට සමානව රිදියෙන් සකසා ඊට ව්‍යාජ ලෙස රන් ආලේපිත කොට නිපදවූ අත්පළදනාවක් බවට කරුණු අනාවරණය වී තිබේ. සැකකරු මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති අතර ඒ සඳහා තවත් පුද්ගලයකුගේ සහාය ලැබී ඇති බවත් ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතය.


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න