kurunegala-atm

කුරුණෑගල, ගැට්ටුවාන මංසන්ධියේ පිහිටුවා තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ඒටීඑම් යන්ත්‍රය කපා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න මුදලක් සොරකම් කරගෙන යාම සඳහා තනි පුද්ගලයෙකු පැමිණ ඇති බව ආරක්ෂක කැමරා දර්ශන උපයෝගී කරගෙන සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම ප්‍රදේශයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවල පටිගතව තිබූ දර්ශන පර්ක්ෂා කිරීමේදී සැකකරු සොරකමට දුම්රියකින් පැමිණෙන ආකාරය අනාවරණය කරගෙන ඇත.

පසුගියදා පැවති නිදහස් සමරු උත්සවය දින දහවල් කාලයේදී මෙම මුදල් සොරකම සිදුව තිබිණි.

රාජ්‍ය බැංකුවකට අයත් එම ඒටීඑම් යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා පැමිණි කාර්මිකයෙකු බව හඟවමින්  එම යන්ත්‍ර කුටියට මහජනතාවට පිවිසීම අවහිර කර යකඩ කපන යන්ත්‍රයකින් ඒටීඑම් යන්ත්‍රය කපා එහි තැම්පත් කර තිබූ මුදල් තොගය සොරකම් කරගෙන ගොස් තිබූ බව පොලීසිය පවසයි.  රුපියල් සියයේ මුදල් නෝට්ටු තොගය හැර යන්ත්‍රයේ තැම්පත් කර තිබූ රුපියල් පන්සීයයේ දහසේ හා පන්දාහ සේ වටිනාකමින් යුත් අනෙක් මුදල් තොගයම රැගෙන සැකකරු පලා ගොස් ඇති බවද කියයි. සැකකරු මේ සඳහා යොදාගෙන තිබූ යකඩ කපන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙන් පසුව ඒ ආසන්නයේ තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලකින් අලුත් යන්ත්‍රයක් මිලදීගෙන නැවත ඒටීඑම් යන්ත්‍රය කැපීම සිදු කර තිබූ බවද විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.



සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දින වන බැවින් පාරිභෝගිකයන්ට ලබා ගැනීමට රාජ්‍ය බැංකුව මඟින් විශාල මුදල් තොගයක් මෙහි තැන්පත් කරන බව දැනගෙන මෙම මුදල් සොරකම සිදු කිරීමට සැකකරු පැමිණෙන්නට ඇති බවට සැක කරන බව පොලීසිය පවසයි. ඒටීඑම් යන්ත්‍රය සවි කර තිබූ ස්ථානය ඉතා ජනාකීර්ණ ස්ථානයක් වුවද එදින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් වූ බැවින් කිසිවකුගේ බාධාවකින් තොරව මෙම සොරකම සිදු කරන්නට ඇති බවද පොලීසිය සඳහන් කළේය. ඒටීඑම් යන්ත්‍රවල තාක්ෂණය ගැන හොඳින් දන්නා පුද්ගලයෙකු මේ සඳහා පැමිණෙන්නට ඇතැයිද පොලීසිය සැක කරයි. කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ගීතාංජලී ප්‍රියදර්ශනී