lokuge-elephant

සැකකරුවකු සමග පොලිස් භාරයට ගත් විශාල ප්‍රමාණයේ ඇත් දළ දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සහ වලව් පාර්ශ්වයක පුද්ගලයකු හිමිකම් කීමට ඉදිරිපත්ව ඇතැයි පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. මෙම ඇත්දළ යුගල මාතර පිටබද්දර ප්‍රදේශයේ දී ඉකුත් 12 වැනිදා පොලිස් භාරයට ගෙන ඇත. එය ලක්ෂ පනහකට අලෙවි කිරීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ඇත්දළ යුගල සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා දීමත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ අකුරැස්ස ප්‍රදේශයේ වලව්වකට සම්බන්ධ අයකු වන නිහාල් පෙරේරා නමැත්තකු පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ප්‍රකාශ දෙමින් ඇත්දළ යුගලට අයිතිවාසිකම් කීමට ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි.

අරගලකාරීන් පිරිසක් සිය නිවසට තැබූ අවස්ථාවේ දී කොල්ලකන ලද දේපළ  අතර තිබූ ඇත් දළ යුගල වසර කීපයකට ඉහත දී ඥාතියකු විදේශගත වන අවස්ථාවේ දී තමන්ට ලබාදුන් දළ යුගලක් බවත් එය බොහෝ දුරට නැති වූ ඇත්දළ යුගල බවට සැකකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට දුන් ප්‍රකාශයක සඳහන් වේ.



මේ අතර අකුරැස්ස දීගල වලව්වට හිමිකම් කියන පාර්ශ්වයේ සමීප ඥාතියකු භාරයේ මෙම ඇත් දළ යුගල තිබුණු බවත් එහිදී අස්ථානගත වූ ඇත් දළ යුගළ මෙය බවට සැකකරන බවත් එම වලව් පාර්ශ්වයේ පුද්ගලයකු වන නිහාල් පෙරේරා මහතා නමැත්තකු පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ. ඇත් දළ යුගල සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කළ ප්‍රකාශ මොරවක අධිකරණයට අද (27) වාර්තා කරන බවත් එහිදී පාර්ශ්ව දෙක ද අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් පානදුර දූෂණ මර්දන ඒකකය කියයි. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ