ma-kumbura-high-level

එළඹෙන මාර්තු 01වැනිදා සිට හයිලෙවල් මාර්ගය හා අනෙකුත් මාර්ග ඔස්සේ ගමන් කරන සියලු පෞද්ගලික හා ලංගම බස් රථ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබේ. එසේම ඊට අනුගත නොවන පාර්ශ්වවලට එරෙහිව නීති ප්‍රකාරව අවශ්‍ය කටයුතු කිරීමට කිසිසේත් පසුබට නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.



ඒ අනුව මේ වනවිට අවිධිමත් ලෙස කොට්ටාව නගරයේ විවිධ ස්ථානවලින් මගීන් බස් රථවලට නංවාගැනීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එහිදී සියලු දුර ගමන් සේවා හා අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලු බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කරන ලෙසත් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොලීසිය හා අදාළ නිලධාර්න් දැනුම්වත් කර ඇත. මේ අතර මේ වනවිට අවිධිමත් ලෙස ස්ථාපිත කර ඇති බස් රථ නැවතුම් හා මගී ආවරණ ඉවත් කර, මගීන්ට අවශ්‍ය සියලු පහසුකම් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළින් සැපයීමට නියමිත අතර, අනාරක්ෂිතව මාර්ගයේ විවිධ ස්ථානවලින් අවිධිමත් ලෙස මගීන් බස් රථවලට නංවාගැනීම වැළැක්වෙනු ඇත.
නිදර්ශනි චික්‍රමසිංහ