macaw-parrot-robbery

විකිණීම සඳහා ඇති කරමින් සිටි රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මැකෝ වර්ගයට අයත් ගිරවුන් හයදෙනකු කොල්ලකෑමට ගිය කණ්ඩායමක උත්සාහය වැරැදි ගොස් ඊට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට බෝගමුව පොලීසිය සමත්විය.  කුරුණෑගල නාරම්පොළ ප්‍රදේශයේ නිවෙසක කූඩුවල දමා සිටි පැටවුන් අභිජනනය සඳහා යොදා ගන්නා මැකෝ මවු සතුන් හය දෙනකු කොල්ලකෑම සඳහා සැකකරුවන් පිරිස ගොස් ඇති බව පොලීසිය කියයි. මෙම විශේෂිත ගිරවු ජෝඩුවක වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ බව පැවසේ.



කුරුණෑගල දඹුල්ල මාර්ගයේ යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි සුරතල් සතුන් අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට අයත් නාරපොළ ප්‍රදේශයේ නිවෙසේ  සිටි සතූන් කොල්ලකෑමට පැමිණ ඇති සැකකරුවන් කණ්ඩායමට සිවු දෙනකු අයත් වන අතර ඔවුන් මහනුවර දිගන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයාගේ පියා රෝගාතූරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු බැලීමට ව්‍යාපාරිකයා නිවෙස වසා මව ද සමඟ රෝහලට ගොස් සිටි අවස්ථාවේ දී සැකකරුවන් මේ සඳහා පැමිණ ඇතැයි පොලිසිය කියයි.

කූඩු වල අගුල් බිඳ දමා ඒවායෙහි සිටි ගිරවුන් හයදෙනකු ගෝනි කීපයක දමා රැගෙන යාමට සූදානම් වෙමින් සිටිය දී ව්‍යාපාරිකයාගේ මව රෝහලේ සිට නිවෙසට පැමිණ ඇත. තම සුරතල් ගිරවුන් ගෝනි තුළ බියට පත්ව කෑ ගසමින් සිටින බව දුටු ඇය සතුන් බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යොදමින් සැකකරුවන් සමඟ පොර බදා ඇත. මෙහිදී සැකකරුවන් ඇයට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන එල්ල කර ඇතත් ඉන් බියට පත් නොවූ ඇය ඔවුන් සමඟ දිගින් දිගටම පොර බඳිමින් අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා ඇත. මැකෝ ගිරවුන්ගේ සද්දයත් කාන්තාවගේ කෑ ගැසිල්ලත් ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට පැමිණෙද් දී කොල්ලය වැරුදුණු සැකකරුවන් සතුන් අතහැර ඔවුන් පැමිණි යතුරු පැදි වලින් පලා ගොස් තිබේ.



මව මෙම සිද්ධිය එම අවස්ථාවේදීම තම පුතුට  දුරකතනයෙන් දැනුම් දී තිබූ අතර ඔහු නිවෙසට පැමිණෙද්දී යතුරු පැදි වලින් පලා යන සැකකරුවන් දැක හඳුනාගෙන ඔවුන් පසුපස වෑන් රථයෙන් හඹා ගොස් ඇත්තේ චිත්‍රපට දර්ශනයක් සිහි ගන්වමිනි. යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුම අසලදීම වෑන් රථයෙන් එක් යතුරු පැදියක් හප්පා අනතුරට ලක් කර එහි ගමන් කළ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට ව්‍යාපාරික පුතු සමත්ව ඇතැයි පොලිසිය කියයි. අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරමින් පවතී. අනතුරට ලක් වීමෙන් සැකකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර එක් සැකකරුවකුගේ පාදයකට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන සිටින ඔවුහු දෙදෙනා පොලිස් ආරක්ෂාව සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවකු විදුලි බල මණ්ඩලයේ සේවකයකු බව අනාවරණය වී තිබේ. ඔවුන් කොල්ලය සඳහා රැගෙනවිත් තිබූ පිස්තෝලය සෙල්ලම් එකක් බවද පොලීසිය පවසයි. මෙම සැකකරුවන් වයඹ පළාත තුළ සිදු කර තිබෙන සත්ත්ව සොරකම් රැසකටම සම්බන්ධ වූවන් බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබේ. වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් අනුව බෝගමුව පොලිස් ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දිකා දැල්කදුර මහත්මිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

පුෂ්පකුමාර ජයරත්න