mattegoda-incident

මාස දහයක පමණ සිට දහතුන් හැවිරිදි බාල වයස්කාර දැරියක බරපතළ අපයෝජනයට ලක් කළ පස්දරු පියකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි .  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි පස්දරු පියකු බව පොලිසිය කියයි . මෙම පුද්ගලයා පදිංචි නිවසට යාබදව පිහිටි මිතුරු නිවසක දැරියක මෙසේ බරපතළ අපයෝජනයට ලක් කර ඇතැයි පැවසේ.

දැරිය පදිංචි නිවසට නිතර යන එන මෙම පුද්ගලයා මීට මාස දහයකට පමණ පෙර දිනක එම නිවසට ගිය අවස්ථාවේදී දැරියට අයිස්ක්‍රීම් ලබා දෙන බව පවසා රාත්‍රී 07 පමණ නිවසට යාබද වෙළෙඳසළකට රැගෙන ගොස් තිබේ.

අයිස්ක්‍රීම් රැගෙන නිවසට එමින් සිටියදී දැරිය   රවටා අලුතෙන් ඉදිකරන පාළු නිවසකට රැගෙන ගොස් එහිදි දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.  මේ බව දැරිය මාපියන්ට පවසා  නොමැති අතර මාස දහයකට පමණ පසුව දැරිය හා සැකකරු අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව ඇති වූ සැකයක් මත පියා මේ බව ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුම් දී තිබුණි.

මේ පිළිබඳව මත්තේගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් යවා සැකකරු අත්අඩංගුවට ගත් බව පැවසේ .

ඒ අනුව දැරියගෙන් ලබාගත් ප්‍රකාශයකට අනුව සිද්ධිය අනාවරණය වී ඇති අතර මව මේ වනතෙක් කිසිවක් නොදන්නා බව පවසා තිබේ.  දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව මාස 10ක පමණ සිට අවස්ථා කිහිපයකදී ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට වාර්තා වී තිබේ.  සැකකරු දෙවන වරටත් විවාහයක් කරගෙන ඇති අතර පළමු විවාහයේ දරුවන් ගුරු වෘත්තියේ පවා නියැළී සිටින බව පැවසේ. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න