milk-cow-proposal

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසුවය. එහෙත් එහිදී කතාබහට ලක්වූ කිරි පිටි ප්‍රශ්නයක් නිසා මනාලිය මේ විවාහය ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් වාරියපොළ පැත්තෙන් අසන්නට ලැබිණි.

ඇය අගනුවර විදේශීය ආයතනයකට සම්බන්ධ ගිණුම් ලිපිකාරිණයකි. විවාහ අපේක්ෂිත තරුණයා ප්‍රදේශයේම ආයුර්වේද වෛද්‍යවරියකගේ පුතෙකි. එදින නිවසට ඒමෙන් පසු තේ පැන් සංග්‍රහයකින් ප්‍රබෝධමත් වී දිවා ආහාරයද ගැනීමට පෙරාතුව දෙපිරිස අතර සුහද සංදයක් ඇති විය. දැනට පවතින ඉන්ධන ගැටලු හා සීනි කිරිපිටි ගැටලුවද සාකච්ඡාවට බඳුන් වූ අතර ආයුර්වේද වෛද්‍යවරියක වූ  යෝජිත මනාලයාගේ මව කීවේ කිරිපිටි මිල ඉහළ දැමීම ගැටලුවක් නොවන බවය.

" මට දරුවො හතර දෙනයි. මේ ආවේ බාලයා. මේ දරුවො හතර දෙනාටම මම එකම පිටි කිරි හැන්දක් පොවල නෑ. ඉස්කෝලෙට යන තුරුම මව් කිරි දුන්නෙ දැන් ඉන්න අම්මලා  මව් කිරි කළඳක් නොදී ඇඟපත හදා ගන්න බලනව බොරු සෝබනේ " කීවේ තරමක කෝපයෙනි.



කවුරුත් මේ කතාව හිස වනමින් අනුමත කළත් මේ කතාව හොරෙන් අසා සිටි යෝජිත මනාලිය ඔවුන් ගිය පසු කීවේ " ඒ අම්මට දරුවන්ට කිරි දිදී ඉන්න ඕන නං පුතාට එළ දෙනෙක් බැඳ ගන්න කියන්න" කියාය.
එම මගුල නොකෙරුණ බව පසුව වාර්තා විය.

උපසේන ලියනගම