navinna-swiming-pool-death

මහරගම නගර සභාවට අයත් නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට පිහිනමින් සිටි තරුණයන් පස් දෙනකු අතර සිටි එක් තරුණයකු දියේ ගිලී පෙරේදා (12) ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව, මාබිම, බියගම පාරේ පදිංචි නුගවෙල නිලමෙලාගේ දිදුල රශ්මික නමැති (17) හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය කියයි. 

මෙම සිසුවා තවත් මිතුරන් හතර දෙනකු සමග නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට පෙරේදා සවස 01.30 පමණ ගොස් ඇත. පසුව එහි පැයක පමණ කාලයක් පිහිනමින් සිට සෙසු මිතුරන් හතර දෙනා ගොඩට විත් බලා සිටිය දී මෙම තරුණයා පිහිනුම් තටාකය එක් පසෙක දියේ ගිලෙමින් අනතුරට පත් වනු දැක තිබේ.

මේ බව දුටු පිහිනුම් තටාකයේ ආරක්ෂක නිලධාරියා ක්‍රියාත්මක වී අනිත් තරුණයන් සමඟ එක්ව අනතුරට පත් සිසුවා ගොඩට ගෙන සුවසැරිය ගිලන් රථයකින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී සිසුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. සිසුවා ජලයේ ගිලෙද්දී  ජීවිතාරක්ෂක නිලධාරින් කිසිවෙකු තටාකයේ රාජකාරියේ යෙදී නැත.


 මියගිය පාසල් සිසුවා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවකු බවත් ඔහුගේ තවත් මිතුරන් හතර දෙනකු සමග මෙම ස්ථානයට පැමිණ රුපියල් 200ක මුදලක් ගෙවා පැය දෙකක කාලයක් සඳහා විනෝදයට පිහිනීමට පැමිණි බවත් පැවසේ.

මෙම පිහිනුම් තටාකය අඩි අටක පමණ ගැඹුරකින් යුක්ත වන අතර මෙහි  පැමිණෙන ජනතාවගේ ආරක්ෂාවට ජීවිතාරක්ෂක නිලධාරින් නිසිපරිදි අනුයුක්ත කර නොතිබීම මෙම අනතුරට හේතුවී ඇති බවත් යම් විදියකින් ජීවිත ආරක්ෂක නිලධාරීන් එහි රැඳී සිටියේ නම් මෙම පාසල් සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න