negombo-incident

මීගමුව කොට්ඨාස පාතාල මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු ඊයේ (23) අලුයම කටුනායක මාදූව ප්‍රදේශයේ වෙල්යායක දී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ, හීනටියන ප්‍රදේශයේ පදිංචි බුද්ධික දිනේෂ් සෝමවංශ (31) නමැති තරුණයකු බවත්, ඔහු දැනට ඩුබායි හි සැඟව සිටින “හීනටියන මහේෂ් " නමැති අයගේ ගෝලයකු බවත් පොලිසිය පවසයි.

මෙම සැකකරුට විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඇති බවද පොලිසිය  කියයි.

මෙම සැකකරු වැලිගම මුහුදු වෙරළේ දී පෙරේදා (22) පස්වරුවේ මීගමුව කොට්ඨාස පාතාල මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු අපරාධ සඳහා භාවිතා කළ  පිස්තෝලයක් සහ අත්බෝම්බයක් මාදූව වගුරු බිමක සඟවා ඇති බවට හෙළි වූ තොරතුරු අනුව ඊයේ අලුයම 5.50 ට පමණ පොලිස් කණ්ඩායමක් එම ආයුධ සොයා සැකකරු සමග එම ස්ථානයට ගොස් තිබේ.



එහි දී සැකකරු එම ස්ථානයේ සගවා තිබූ අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙතට එල්ල කරන අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි. සැකකරු පොලිස් නිලධාරීන් වෙත එල්ල කළ අත්බෝම්බය පුපුරා නොගොස් ඇති අතර, ඊයේ පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එය නිෂ්ක්‍රීය කරන ලද බව පොලිසිය කියයි. මියගිය අයගේ සිරුර මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දිකා රාමනායක