nelligala-incident

නෙල්ලිගල විහාරස්ථානයට වන්දනා නඩයක් රැගෙන යමින් තිබූ බස් රථයක් පෙරේදා 25 වැනිදා සවස විහාරස්ථානයට මීටර් 200ක් පමණ තිබියදී අඩි 60ක පමණ බෑවුමකට පෙරළීමෙන් එහි ගමන් ගත් තිස් දෙදෙනෙක් තුවල ලබා මහනුවර හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති. 

තුවාලකරුවන් අතරින් 26 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලටත් හය දෙනකු මහනුවර ජාතික රෝහලටත් ඇතුළත් කර සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍යවරු පවසති. මොරටුව ඉදිබැද්ද ගම්මානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබසාධන සමිතියේ සමාජික පිරිසක් මෙම බස් රථයේ පැමිණ තිබෙන බව අනාවරණය වී යැයිද පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු හා රිය සහායක ඇතුළු පුද්ගලයින් 48 දෙනකු බස් රථයේ සිට ඇති අතර නෙල්ලිගල විහාරස්ථානයට මීටර 300 ක් පමණ මෙපිටින් ආරම්භ වන කන්ද මගීන් සමඟ තරණය කිරීමට නොහැකි වීම රියදුරු මගීන් සියලු දෙනා බස්සවා කන්දේ කොටසක් තරණය කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී යැයි පොලිසිය කියයි.  අසීරු කොටස ධාවනය කිරීමෙන් පසු මගීන් සියලු දෙනා යළිත් බස් රථයට නංවා ගැනීමට රියදුරු පියවර ගෙන ඇත.

එම අවස්ථාවේ විහාරස්ථානය දෙසින් තවත් බස් රථයක් පැමිණ එය මාර්ගය මැද නැවැත්වීම නිසා ඉදිරියට යාමට නොහැකිව වන්දනා නඩය ගමන් ගත් බස් රථයේ රියැදුරු තිරිංග තදකර ගියර් මාරු කිරීමට ගිය අවස්ථාවේ බස් රථය පසුපසට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන බෑවුමට පෙරළී තිබෙන බව පොලිසිය පවසයි. නෙල්ලිගල විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින හමුදා සෙබළු ප්‍රදේශවාසීන්ගේද සහය ලබා ගනිමින් තුවාලකරුවන් බස් රථයෙන් පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්හ.  අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.