new-zealand-uncle

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු දොළොස් හැවිරිදි දැරියකට වට්ස්ඇප් ඔස්සේ වීඩියෝ ඇමතුමක් ගෙන, නිරුවත පෙන්වා ඇති බවට දැරියගේ මව පෙරේදා (21) පැමිණිල්ලක් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දොළොස් හැවිරිදි දැරිය පාසල් සිසුවියකි. 

එම දැරියගේ වයසේම පසුවන ඇගේ පාසල් මිතුරියකගේ පියා දැරියට මෙසේ නිරුවත පෙන්වා ඇති අතර ඔහු දැරියගේ මවුපියන් සමග ද වසර ගණනාවක සිට මිත්‍ර සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.

ඔහු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.  ඔහු මාස කිහිපයකට ඉහතදී නවසීලන්තයේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, මෙරට සිටියදී ඇති කරගෙන තිබූ මිත්‍ර සම්බන්ධතාව මත ඔහු එරටේ සිට ද දැරියගේ මවුපියන් සමග දුරකථන ඇමතුම් ලබාගනිමින් ඉඳහිට කතාබහ කර ඇතැයි කියති.  මෙසේ වස්ඇප් වීඩියෝ ඇමතුමක් ගත් අවස්ථාවේ දැරිය ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔහු එම අවස්ථාවේදී දැරියට නිරුවත පෙන්වා ඇතැයි පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය කියයි.

ඔහු ඇයට නිරුවත පෙන්නූ අවස්ථාවේ එහි  ඡායාරූපයක්ද ගෙන සිය මවට එය පෙන්වා ඇති අතර දැරියගේ මව පැමිණිලි කර එම ඡායාරූපය ද පොලිසියට ලබාදී ඇත.

මෙම පැමිණිල්ලට අදාළ තොරතුරු වාර්තාවක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වේයන්ගොඩ පොලිසිය කටයුතු කරගෙන යයි. දැරියකට නිරුවත පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය