රෝහල් ඇතුළු රජයේ ආයතනවලට සනීපාරක්‍ෂක ද්‍රව්‍ය හා වෙනත් උපකරණ ලබාදුන් සැපයුම්කරුවන්ට මාස 08කට වැඩි කාලයක සිට මුදල් ගෙවා නොමැති බවත්, මේ නිසා දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ කර්මාන්ත වැසී යමින් තිබෙන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ  කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. විෂබීජ නාශක වර්ග, අත් පිසින කඩදාසි,

විවිධ බෑග් වර්ග වැසිකිළි කැසිකිළි සඳහා භාවිත කරන විෂබීප් නාශක ඇතුළු උපකරණ හා විවිධ බෑග් වර්ග රෝහල්වලට ලබාදීම සිදුකරනු ලබන්නේ, කර්මාන්තකරුවන් විසින් බව  එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව මධ්‍යම රජය විසින් හා පළාත් සභාව විසින් පාලනය කරනු ලබන රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ලබාදීමත් කර්මාන්තකරුවන් විසින් සිදුකරන බවත්, මෙම භාණ්ඩ ලබාදීම වෙනුවෙන් දින 30කට හෝ දින 45කට වරක් මුදල් ලබාදීම සිදු වූ බවත් හෙතෙම පවසා සිටියේය. එහෙත් ඇතැම් ආයතන මේ වනවිට මාස 6, 7ක කාලයක සිට අදාළ භාණ්ඩ ලබාදීම වෙනුවෙන් මුදල් ගෙවීම සිදුකර නොමැති බවත්, සමහර ආයතන මාස තුන හතරක කාලයක සිට මුදල් ගෙවීම පැහැරහැර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ නිසා සමහර කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා වැසී ගොස් තිබෙන බවත්,

ඇතැම් ආයතන නිෂ්පාදන කටයුතු සීමා කරමින් නිෂ්පාදනය කරමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම තත්ත්වය අඛණ්ඩව පැවැතියහොත් රාජ්‍ය ආයතනවලට හා රෝහල්වලට භාණ්ඩ සැපයීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණයක් ගැනීමට සිදුවන බවත්, දැනට බොහෝ කර්මාන්තකරුවන් සැපයුම් සිදුකරනු ලබන්නේ පසුගිය කාලයේදී ලබාදුන්  සැපයුම් සදහා කඩිනමින් මුදල් ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන්දික හේවාවිතාරණ