නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී තිබූ තරුණයෙකුගේ සිරුරක්  අද (20) උදැසන ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, අනතුරට පත්  බස් රියෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා පිලියන්දල ප්‍රදේශයේ සිට පැමිණ සිටි නානායක්කාර නැමති (32) හැවිරිදි පුද්ගලයෙකුගේ බව නෝටන්බ්‍රීජ් පොලීසිය පවසයි.


බස් රථ අනතුරෙන් 26 දෙනෙකු තුවාල ලබා  කාන්තාවන් දෙදෙනෙකු ඊයේ(19) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වූ සිටි අතර , එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදහන් වී ඇති බවට සැල වීමත් සමඟ අද(20) උදැසන යුද හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් එක්ව බස් රථය පරික්ෂා කිරිමේදි අතුරුදහන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙයි.

බස් රථයට යට වි මියගොස් සිටි තරුණයාගේ සිරුර වටවල ප්‍රාදේශීය රෝහල වෙත යැවීමට ආරක්ෂක අංශ නිලධාරීන් පියවර ගැනුණි.

මහරගම ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් ගමන් ගත් බස් රථය නෝර්ටන් බ්‍රිජ් ගිනිගත්හේන මාර්ගයේ ඇට්ලස් ප්‍රදේශයේ දී අඩි 225ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලිසිය පවසයි.



ගිනිගත්හේන දෙසට ධාවනය වූ බස් රථය වෙනත් වාහනවලට ඉඩදීමට යාමේදී මෙම අනතුරට ලක්ව තිබෙයි.

සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර රියදුරු රිය සහායක ඇතුළු 25 දෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය හා මහනුවර රෝහල් වෙත මාරුකර යවා ඇත..