npp-protest-one-died

කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.
එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සාමකාමී උද්ඝෝෂණයට කිසිදු හේතුවකින් තොරව පොලිසිය පහරදුන් බවත් ඉන් තුවාල ලද 28 ක් අතරින් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත්, ඉන් එක් අයෙක් මෙසේ මියගොස් ඇති බවත්ය.


මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ, ජාතික ජනබලවේගයෙන් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ නිමල් අමරසිරි නමැති අයෙකි.
60 හැවිරිදි ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකු වන්නට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකු බවද වාර්තා වේ.
බරපතල තත්වයේ පසුවන අනෙක් තැනැත්තා තවම ප්‍රතිකාර ලබයි.
ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ පැය 24ක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්ත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවය.


ජාතික ජන බලවේගය ඊයේ (26) දින කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකිමින් නිදහස් ජනතා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.  
නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතිය සුරැකීම සඳහා නිදහස් ජනතා සන්ධානය ඉදිරියටත් කොන්දේසි විරහිතව පෙනීසිටින බවය.
ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය අද (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබේ.
එම මාධ්‍ය හමුව සඳහා ටිල්වින් සිල්වා, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නීතිඥ හර්ෂණ නානායක්කාර, විජිත හේරත් සහ ලාල්කාන්ත එක්වී සිටියහ.