onesh-murder-updates

ඔපෙක්ස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වූ හතළිස් පස් හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතා ඉකුත්  05 වැනිදා ඉන්දුනීසියාවේ දී මියගිය සිද්ධියට අදාළව ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේ දී  “මට ලංකාවේ කෑම කන්න බෑ. මේ රටේ මට ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරණවා” යැයි රෝසා නෝනා ඔනේෂ් මහත්තයා එක්ක රණ්ඩු කරමින් පැවසූ බව ඔවුන්ගේ නිවසේ සේවිකාවක ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.


මරණයට පත්වූ ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ සහෝදරයාවන සුභාෂ් සුබසිංහ මහතාගේ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, එහිදී මරණකරුගේ මෙහෙකරුවන් පස් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

ඒ අනුව, පැමිණිලිකාර සුභාෂ් සුබසිංහ යන අයගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් අතර, තම සහෝදරයා වූ ඔනේෂ් සුබසිංහ බ්‍රසීල ජාතික කාන්තාවක වන රොසැලියා නස්කිමොන්ටෝ කාර්ඩෝර්සෝ ද සිල්වා නමැත්තිය සමඟ විවාහ වී සිටි බවත් ඔවුන් දෙදෙනාට අලීෂා සුබසිංහ නම් සිවු හැවිරිදි දියණියක් ද සිටින බවත් එහි සඳහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. එම දියණිය බොරැල්ල - ඇල්විටිගල මාවතේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි අතර, තම සහෝදරයා බිරිද සහ දරුවා ද සමඟ කොළඹ රොස්මිඩ් පෙදෙසේ මහල් නිවාසයේ ජීවත්ව සිටි බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මරණකරුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන ශ්‍යාම ලාල් අරවින්ද යන අය ප්‍රකාශයක් දෙමින්, "ඔනේෂ් සහ ඔහුගේ බිරිඳ නිතර නිතර ආරවුල් ඇතිකරගෙන තිබූ බවත් ඔනේෂ් බිරිඳගෙන් දික්කසාද වීම සඳහා සැලසුම්කරගෙන සිටි බවටත් '' සඳහන් කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මරණකරුගේ නිවසේ සේවය නියුතු සේවිකාවකවන දේවදාස මේගලා කාන්ති යන අය ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ, තම ස්වාමි දියණිය වූ රෝසා නෝනා නිතරම ඔනේෂ් මහතා සමඟ රණ්ඩු වෙන බවත්, " මට ලංකාවේ කෑම කන්න බෑ. ලංකාවේ ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න  නොදුන්නොත්, මම කවදාහරි උඹව මරනවා" යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් බනින බවත් යන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.



“නෝනා කවදාහරි මහත්තයාව මරා දමාවි යන බිය ඔනේෂ් මහත්තයාගේ හිතේ තිබුණු බවත්, ඒ හේතුවෙන් දිනක් තමාවත්, නිවසේ තවත් සේවිකාවක වන ප්‍රියංගනී යන ඇයවත් කාමරයට කැඳවා ඔනේෂ් මහතා, නෝනා ළමයව අරගෙන බ්‍රසීලයට යයි. පොඩ්ඩක් කල්පනාවෙන් ඇහැ ගහගෙන ඉන්න '' යනුවෙන් පැවසූ බවත් එම සේවිකාව සිය ප්‍රකාශයෙන් දක්වා ඇතැයි  ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එම නිවසේ සේවිකාවක වන දේවගේ  පුෂ්පරාණි නමැත්තිය ද ප්‍රකාශයක් දෙමින්, තමන්, මේ දෙපලගේ දරුවා රැකබලාගත් අය බවත්, දරුවාගේ වයස අවුරුද්දක් පමණ ගිය පසු නෝනා සහ මහත්තයා නිතර නිතර රණ්ඩු සරුවල් කරන්නට පටන් ගත් බවත් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. තමන් නිවසේ සේවිකාවක ලෙස සේවය කරන අතර, රෝසා නෝනා " කවදාහරි දවසක ඔනේෂ් මහත්තයාව මරණවා" යැයි කියනවා තමාට ද ඇසුණ බවත්, දෙදෙනා නිතරම රණ්ඩු වෙමින් සිටින බවත් ජයසිංහ මුදියන්සේලාගේ ප්‍රියංගනී චන්ද්‍රලතා යන අය ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු  වාර්තා කර තිබේ.



මෙම ඝාතනය සඳහා ශ්‍රී ලංකාව තුළ සිට කුමන්ත්‍රණය කළාද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමඟ කියැවෙන 113 සහ 296 වගන්ති ප්‍රකාරව වැරදි සිදුව ඇත්දැයි එහිදී පරීක්ෂණ සිදු කරන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නිමන්ති රණසිංහ