pakistan-imf

පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉල්ලා ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක ණය මුදල සම්බන්ධයෙන් වන කාර්යමණ්ඩල මට්ටමේ එකගතාවට පැමිණීම මෙම සතියේදී සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි  අපේක්ෂා කරන බව පාකිස්තානය පවසයි. විශේෂයෙන්ම මෙම ණය අනුමැතියත් සමග එරට වෙත ණය පහසුකම් ලබාදීම සඳහා සූදානමින් සිටින ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය දෙන්නන්ගේ  ණය එරට වෙත පැමිණීම ආරම්භ වනු ඇතැයිද පාකිස්තානයේ අපේක්ෂාව වී තිබේ.



2023 වසර සඳහා වන පරිපූරක මූල්‍ය කෙටුම්පත එරට ජාතික සභාව තුළ සම්මත වී  දිනකට පසුව මෙම අපේක්ෂාව පවතින බව එරට මුදල් රාජ්‍ය ඇමතිනී අයිෂා ඝායුස් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හමීඩ් යාකුබ් පවසයි. මේ අතර පාකිස්තානය මෙම සතියේදී චීනයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බව එරට මුදල් ඇමති ඉෂාක් ඩාර් පවසයි. මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා සියල්ලම දැනටමත් සිදුකර අවසන් බවද ඔහු පවසා තිබේ.

ඒ අනුව, මෙම සතියේදී එම  මුදල් පාකිස්තාන මහ බැංකුව වෙත බැරවෙනු ඇති බවත්, ඒ හරහා පාකිස්තානය දැනට මුහුණදී සිටින විදේශ විනිම සංචිත අර්බුදයට යම් තරමක සහනයක් හිමිවනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා පවසා සිටියි. පාකිස්තානය මුහුණ දී සිටින දරුණු ආර්ථික අවපාතයත් සමගින්ම අද වන විට එරට විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් දක්වා පහත වැටී තිබේ. එය එරටට අවශ්‍ය සති තුනක ආනයනය සදහා ප්‍රමාණවත් මුදලකි.