panadura-murder

අද (28) උදෑසන පානදුර පිංවත්ත ටීඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කළ සිදුවීමක් වාර්තා විය.

ගාලු පාර දෙස සිට මුහුදුබඩ මාර්ගය දෙසට ගමන්කර ඇති සුඛෝපභෝගී ජීප් රථයට යතුරු පැදිකරුවන් දෙදෙනෙකු පැමිණ වෙඩි තබා පළා ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ ව්‍යාපාරිකයා රියදුරු අසුනේම මියගොස්  සිට ඇති අයුරු දැකගත හැකි විය.
සම්පත් කුඩාගොඩ නමැති 56 හැවිරිදි කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස මියගියේය.
මියගොස්  ඇති තැනැත්තා කඩවත ප්‍රදේශයේ රට බීම හලක හිමිකරුවෙකු බවත් පොලීසිය පැවසීය.



උදෑසන 8 ට පමණ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් වෙඩි තබන්නට ඇති බවට සැක පළ කරන බවත් ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මියගිය අය කඩවත කිරිල්ලවල හා පින්වත්තේ නිවාස හිමි අයෙකි.
මියගොස් ඇති තැනැත්තාට පානදුර පිංවත්ත ටී. ඩීමන් සිල්වා මාවතේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක් ඇති බවත්, දරුවන් පාසලට ඇරලවා පින් වත්තේ නිවස වෙත එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලීසිය පවසයි.

වාහනයේ කැමරා පද්ධති පරීක්ෂාවට ලක්කර ඇති අතර සොකෝ නිලධාරීන් හා නිල සුනඛයින් යොදවා විද්‍යාත්මක සාක්ෂි සොයාගෙන ඇත. කළුතර අපරාධ කොට්ඨාශය හා පානදුර කොට්ඨාශය මේ ගැන පරීක්ෂණ සිදු කරයි.
පශ්චාත් පරීක්ෂණය සඳහා මියගිය පුද්ගලයාගේ මෘතදේහය කළුබෝවිල රෝහලට යොමු කර ඇත.
ඝාතනයට හේතු තවම අනාවරණය වී නැති අතර පරීක්ෂණ සිදුවේ.