කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයාගේ රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නිල රථය කිසියම් පුද්ගලයකු විසින් පෙරේදා (11) පැහැරගෙන යනු ලැබ ඇතැයි පිලියන්දල පොලිසිය පවසයි. අතිරේක දිසා විනිසුරුවරයාට අයත්, පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ විකිණීමට ඇති නිවෙසක් ලබාගැනීමට බව කියමින් පැමිණි පුද්ගලයකු විනිසුරුවරයා එම නිවසේ කාමරයක සිරකර නිල රථය රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. මොරටුව ප්‍රදේශයේ පදිංචි අතිරේක දිසා විනිසුරුවරයාට අයත් එම නිවස විකුණන බවට පළ කර තිබූ දැන්වීමක් දැක එම පුද්ගලයා නිවෙස බැලීමට පැමිණ ඇති බවද පොලීසිය කියයි.
ඔහුට නිවස පෙන්වීම සඳහා අතිරේක දිසා විනිසුරුවරයා නිල රථයෙන් එහි පැමිණ ඇති අතර, ඔහු නිවෙස පෙන්වමින් උඩු මහලේ කාමරයකට ගිය අවස්ථාවේ, නිවෙස ලබාගැනීමට යැයි කියමින් පැමිණි පුද්ගලයා විනිසුරුවරයා එහි සිරකර දොර අගුලු දමා පහළ මාලයේ තිබූ යතුර රැගෙන නිල රථය පණ ගන්වාගෙන පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. විනිසුරුවරයා නිවෙස පෙන්වීමට ගිය අවස්ථාවේ මෝටර් රථයේ යතුර නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි පැන්ට්‍රිය මත තබා ඇතැයි ද එම නිලධාරියා කීවේය. අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම කාමරයේ බැල්කනියෙන් පිටතට පැමිණ සිද්ධිය ඥාතීන්ට මෙන්ම පොලීසියට ද දුරකතනයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව පොලීසිය, පිළියන්දල ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිවෙසට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත. සොරාගෙන ගිය නිල රථය විනිසුරුවරයාට අධිකරණ අමාත්‍යාංශයෙන් ලබාදී ඇති වාහනයක් බව පැවැසේ. මෙම නිල රථය සොරාගෙන ගිය පුද්ගලයා ගැන තවම තොරතුරක් ලැබී නැතැයි ද පොලීසිය කියයි. නිල රථය සොරාගෙන ගිය පුද්ගලයා සොයාගැනීමට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.
නිවෙස මිලදී ගැනීමේ ගැනුම්කරුවකු සේ පැමිණි කොල්ලකරු එම නිවෙසට පැමිණි ත්‍රිරෝද රථය හා රියැදුරු පිළියන්දල පොලීසිය මගින් සිය භාරයට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ පුද්ගලයකු මඩපාත ප්‍රදේශයේ කුලී ගමනක් රැගෙන ගිය බවත්, ඔහු වෙන්දේසි ඉඩමකට ගොස් යළි ත්‍රිරෝද රථයෙන් පැමිණ මඩපාත හන්දියෙන් බැස ගිය බවත්ය. මෝටර් රථය කොල්ලකෑ පුද්ගලයා කැස්බෑව මාර්ගයේ බණ්ඩාරගම දෙසට එය ධාවනය කර ඇති අතර, ඔහු කිඳෙල්පිටිය පාලම මතදී දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බව දුරකථන විශ්ලේෂණ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය. පිළියන්දල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් විමර්ශන අංශයේ සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments