police-ja-ela

ජාඇල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්පොළක් අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව  යතුරු පැදියකින් ගමන් ගත් කාන්තාවක් පෙරේදා (15) අල්ලාගත් අවස්ථාවේ ඇය කොස්තාපල්වරයාගේ කනට ගසා යතුරු පැදිය ද එම ස්ථානයේම අතහැර දමා පලා ගොස් ඇතැයි ජා-ඇළ පොලිසිය පවසයි.



"මම  පොලිසියට බය නැති ගැහැනියක්'' යැයි කියා ඇය පොලිස් කොස්තාපල්වරයාගේ කනට ගසා ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. ජාඇල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඉන්ධන පිරවුම්පොළ අසල රාජකාරියේ නිරතව සිට ඇත. ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව කාන්තාවක යතුරු පැදියකින් එන අයුරු දුටු එහි පොලිස් කොස්තාපල්වරයකු ඇය නතර කරගෙන ඇතැයි පොලිසිය කියයි.

එම  කාන්තාව  පොලිස්  කොස්තාපල්වරයාගේ කනට පහරක් ගසා ඇත්තේ ඇය නතර කර ගත් අවස්ථාවේ දී යැයි ද පොලිසිය කියයි. කාන්තාව විසින් අතහැර දමා යන ලද යතුරුපැදිය පොලිස් භාරයට ගනු ලැබීය. එම කාන්තාව සීදුව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් බවට තොරතුරු හෙළි කර ගත් පොලිස් කණ්ඩායමක් එම නිවෙස සොයා ගොස් ඇත. මෙම ක්‍රියාව කළ කාන්තාව කිසියම් රෝගී තත්ත්වයකට කාලයක් තිස්සේ සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තැනැත්තියක් බව නිවසේ සිටි අය පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇතැයි  කියති. ජාඇල පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක්  සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වති.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය