police-maco

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සහාය වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මහා භාණ්ඩාගාරයට විරෝධතා ඉදිරිපත් කිර්මට නියමිත බව වාර්තා වේ.  ඒ, මාර්තු 09 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට සේවා සැපයීම සඳහා රුපියල් බිලියන 2.8ක ඇස්තමේන්තුවක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් එවා ඇති පසුබිමකය. මෙය 2018 පළාත් පාලන මැතිවරණ වියදම්වලට සාපේක්ෂව වියදම් ඇස්තමේන්තුවේ තුන් ගුණයක වර්ධනයක් බව කියැවේ.

මෙම වියදම් දීමනා, ඉන්ධන වියදම්, වාහන කුලියට ගැනීම, දුරකථන හා සන්නිවේදන භාවිතය,

ලිපිද්‍රව්‍ය සහ ආනුශාංගික වියදම් ආවරණය වන පරිදි ඇස්තමේන්තුගත කර තිබුණද, ඇතැම් වියදම්වල හය ගුණයකින් පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවද මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. එම වැඩිවීම් අතර වාහන කුලියට ගැනීමේ පිරිවැය රුපියල් මිලියන 138 සිට රුපියල් මිලියන 745ක් දක්වාත්, ඉන්ධන බිල්පත් ඇස්තමේන්තු රුපියල් මිලියන 108 සිට රුපියල් මිලියන 675ක්   දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී, කොමිෂන් සභාව තමන්ගේම ඇස්තමේන්තු සකස් කර ඇති බවත්, පොලිස් දෙපාර්තමේන්තුව විසින් එවන ලද සංඛ්‍යා විශාල වශයෙන් අධිතක්සේරු කර ඇති බවත් එම නිලධාරියා පැවසීය. මෙම පසුබිම තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් බිල්පත් ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් ගෙවීම් සිදු කිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ ඔවුන්ගේ ඇස්තමේන්තු වර්තමාන මිල ගණන් මත පදනම්ව සකස් කර ඇති බවයි.

ඡන්ද විමසීමට අදාළ පෙත්සම් තුනක් විභාග වෙමින් පවතින  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද  මැතිවරණ කොමිෂන් සභාව මෙම කාරණය සලකා බැලීමට නියමිත අතර, මැතිවරණ සඳහා භාණ්ඩාගාරයෙන් අරමුදල් නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු දැක්වීමට සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම, මැතිවරණයට සූදානම් වීමට අවශ්‍ය රුපියල් මිලියන 100න් මැතිවරණ කොමිසම වෙත මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් මිලියන 35ක් පමණි. මැතිවරණය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය ඇස්තමේන්තු කර ඇති නමුත් නියමිත වේලාවට මුදල් නොලැබීම ගැන කොමිෂන් සභාව කනස්සල්ලට පත්ව සිටින බවද නිලධාරියා පැවසීය.

එම ඇස්තමේන්තුවලට අනුව පෙබරවාරි මාසය අවසන් වීමට පෙර මැතිවරණය සඳහා රුපියල් මිලියන 800ක් අවශ්‍ය වනු ඇත. එමෙන්ම, මාර්තු අවසන් වනවිට රුපියල් මිලියන 1,600ක්, අප්‍රේල් අවසන් වනවිට රුපියල් මිලියන 1,400ක්, මැයි අවසන් වනවිට රුපියල් මිලියන 600ක්, ජුනි අවසන් වනවිට රුපියල් මිලියන 120ක් සහ ජූලි අවසන් වනවිට රුපියල් මිලියන 80ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇත. මෙම මූල්‍ය ප්‍රශ්නයට අමතරව කොමිසමට සහ අපේක්ෂකයන්ට ඉන්ධන කෝටාව වැඩි කිරිමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් සතුටුදායක ප්‍රතිචාරයක් මෙතෙක් මැතිවරණ කොමිසමට ලැබී නොමැති බවද සඳහන් වේ.

(සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි)