postal-votes-postponned

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් තොරව කල් යනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.


ඒ අනුව 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීම මෙම අවිනිශ්චිතභාවයට ලක්ව ඇත.
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙට දින මධ්‍යස්ථාන 1,116 කදී සිදුකිරීමට කටයුතු යොදා තිබූ  නමුත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ මුදල් රජයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගත් බව මැතිවරණ කොමිසම පැවසීය.


මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින් ගෙන්වා අද මේ බව දන්වා සිටි අතර අද පැවැති සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේ ඡන්දය පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ ප්‍රශ්නය සමනය කරගනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ ඡන්දය පවත්වන්නට උවමනාව තිබුනේ කොමිසමට බවත් ජනපති රනිල්ට හිල්වූ මුට්ටියක් භාරදී මුදල් නැති පසුබිමක මෙවැනි තත්වයක් උද්ගතවීම වැළැක්විය නොහැකි බවත්ය.


මේ අතර සජබය වෙනුවෙන් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර කියා සිටියේ ඉතා අවාසනාවන්ත ලෙස මුදල් සිරකර ඡන්දය නොපවත්වන තැනට වැඩසිද්ධ කිරීමට රජය කටයුතු කර තිබෙන බවයි. ජනතාව වෙනුවෙන් මැතිවරණ ලබාගැනීමට අධිකරණයේ පිහිට පතන්නට හා පාරට බසින්නට සිදුව ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් කියා සිටියේ මේ දක්වා මැතිවරණය පවත්වන තැනට කොමිසම දැරූ උත්සාහය අගය කරන බවත් නිර්ලජ්ජිත ලෙස මැතිවරණය නොපවත්වන්නට රජය බලපෑම් කිරීම හෙළාදකින බවත්ය. මේ නිසා ඡන්දයක් වෙනුවෙන් අධිකරණයට යාමට තීන්දු කළ බවය.