postal-votes-feb-22-23-24

මෙවර ඇතැම් ප්‍රදේශවල විශාල පිරිසකට තැපැල් ඡන්ද අහිමි කර ඇතැයි වාර්තා වන බැවින් ඒ පිළිබදව සොයා බලා තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබාදීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.



පළාත් පාලන ආයතන මැතිවරණයේදී තැපැල් ඡන්ද ඉල්ලුම් කළ ඡන්දදායකයන් විශාල පිරිසකට එම අයිතිය ලබාදීම ප්‍රති ක්ෂේප කර ඇතැයි ද තැපැල් ඡන්ද ප්‍රතික්ෂේපිත අනුපාතය මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත අනුපාතය ලෙස වාර්තාගතවී ඇති බව දැන ගන්නට ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය, ගමනා ගමන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආදි අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ගේ මේ ආකාරයට තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වී ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි. උදාහරණයක් ලෙස මහනුවර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයේ එක් ආයතනයක සේවය කරන 150කට වැඩි පිරිසකගේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වූ බවට තොරතුරු ලැබී තිබෙන බව ද මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. එබැවින් මේ පිළිබඳව සොයා බලා තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබාදීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ එස්. බී. හේරත් මහතා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාට යවා ඇති එම ලිපියෙන් ඉල්ලා ඇත.

අංජුල මහික වීරරත්න