prabhakaran-not-dead-nedumaran

තමිල්නාඩුවේ දී ඊයේ (13) කැඳවා තිබුණු විශේෂ මාධ්‍ය හමුවකදී එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවත් ඔහු සිය පවුල සමග ඉතාමත් සුවෙන් සිටින බවත් ගෝලීය දෙමළ සම්මේලනයේ නායක පී. නෙඩුමාරන් පැවසීය. ප්‍රභාකරන් සිටින ස්ථානය මේ අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බව පවසන ඔහු ප්‍රභාකරන් නුදුරේදීම සමාජය ඉදිරියට පැමිණෙනු ඇති බව ද සඳහන් කළේය. නෙඩුමාරන් මේ සම්බන්ධ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ නමුත් ඒ ගැන කියා සිටියේය.



මෙහිදී නෙඩුමාරන් මෙසේ කීවේය.

‘පවතින ජාත්‍යන්තර වාතාවරණය හා ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව රාජපක්ෂ පාලනය පලවා හැරීමට සිදු කරනු ලබන අරගල සමග පවතින තත්ත්වය ප්‍රභාකරන් පිළිබඳ ඇත්ත හෙළිදරව් කිරීමට සුදුසු වතාවරණය ඇති කර තිබෙනවා. එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් මහතා පණපිටින් හා ඉතාමත් සුවෙන් සිටිනවා යන සුබ පණිවිඩය ඉතාමත් විශ්වාසයෙන් මේ අවස්ථාවේ ලෝකවාසි දෙමළ ජනතාවට ඉතාමත් සතුටෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

මේ දක්වා ඔහු පිළිබඳව සැලසුම් සහගතව පතුරවනු ලැබූ කටකතා හා ප්‍රචාරවලට මේ පණිවිඩය සදාකාලික තිතක් තබනු ඇතැයි කියා මම විශ්වාස කරනවා.  ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නිදහස පිළිබඳ සැලසුම ඔහු කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිතය. ලෝකවාසි දෙමළ ජනතාව මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවත් ඔහුට සහයෝගය ලබාදිය යුතු යැයි ඉල්ලා සිටිනවා. එ ල්ටීටීඊ සංවිධානය ශක්තිමත්ව තිබුණු කාලයේ ඉන්දියාවට එරෙහි වන කිසිදු රටකට තමන්ගේ භූමියේ පය තබන්නට ඔහු අවස්ථාව ලබා දුන්නේ නැහැ. කොපමණ දුෂ්කර වුවත් ඉන්දියාවට විරුද්ධ කවර රටකින් හෝ උපකාර ලබා නොගැනීමේ ස්ථාවරයේ දෙමළ ඊළමේ නායක ප්‍රභාකරන් ස්ථීරව සිටියා. ඒත් මේ අවස්ථාවේ චීනය ලංකාවේ සිට සිය අධිපත්‍ය පැතිරවීමේ අවදානමක් තිබෙනවා. මේ අනතුර වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නැයි අපි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිනවා.



මේ තීරණාත්මක මොහොතේ තමිල්නාඩු රජයත් තමිල්නාඩු රජයේ දේශපාලන නායකයනුත් දෙමළ ජනතාවත් දෙමළ ඊළාම් නායක ප්‍රභාකරන් මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නැයි ඉල්ලනවා. මේ අවස්ථාවේ මම ප්‍රභාකරන් මහතාගේ පවුලේ අය සමග සබඳතා පවත්වනවා. මේ පුවත්පත් සාකච්ඡාව පවත්වන්නේ ඔහුගේ අවසරය ඇතිවයි. ප්‍රභාකරන් කොහේද සිටින්නේ කවදාද එන්නේ කියන කුතුහලය මුළු ලෝකයට තිබෙනවා. ඔහු නුදුරේදීම සමාජය ඉදිරියට පැමිණේවි.‘


නෙඩුමාරන්ගේ ප්‍රකාශයෙන් පසු තමිල්නාඩු කොංග්‍රස් ප්‍රධානී කේ.එස්.අලගිරි පැවසුවේ, ‘මම ගොඩක් සතුටු වෙනවා. ප්‍රභාකරන් ඉදිරිපත් වුණොත් මම ගිහින් ඔහුව හමුවෙනවා. මට ඔවුන්ගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රභාකරන් මියගිය බව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මීට වසර 14 කට පමණ පෙරය. ඉන් පසුව එල්.ටී.ටී.ඊ.ය සහ හමුදාව අතර ගැටුම අවසන් වූ බව ශ්‍රී ලංකාවේ යාපනයේදී ද ප්‍රකාශ වුණා.


2009 මැයි 18 වැනි දින කොටි ප්‍රධානියා වූ ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවසානය ප්‍රකාශයට පත් කළේය. DNA පරීක්ෂණයකින් පසු ශ්‍රී ලංකාව ප්‍රභාකරන්ගේ මරණය තහවුරු කළේය
ශ්‍රී ලංකා රජයට අනුව, 2009 මැයි 17 වන දින ශ්‍රී ලංකා හමුදාවේ මෙහෙයුමකින් කොටි ප්‍රධානී ප්‍රභාකරන් මියගිය බව දේහය මාධ්‍යයට පෙන්නූ අතර ප්‍රභාකරන්ගේ මරණයෙන් සතියකට පසු එල්ටීටීඊ ප්‍රකාශක සෙල්වරාසා පද්මනාදන් ඔහු ඝාතනය වූ බව පිළිගත්තේය. සති දෙකකට පසු DNA පරීක්ෂණයකින් ප්‍රභාකරන්ගේ සිරුරේ අනන්‍යතාව තහවුරු විය.