rakwana-incident

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක සහ දැරියන් දස දෙනකු වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන පුද්ගලයෙක් රක්වාන පොලිසිය විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා බවද පොලිසිය සඳහන් කරයි.

ලිංගික අපයෝජනයකට ලක් වූයේ යැයි කියන තරුණිය සහ දැරියන් දසදෙනා වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි. මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දැරියක නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු ළමා නිවාසයේ පාලිකාව විසින් ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පාසල් යවමින් ඇයට රැකවරණය ලබාදී ඇතැයි පොලිසිය  කියයි.

එම තරුණිය අවුරුදු 20ක් පමණ වයසැති තැනැත්තියකි. ළමා නිවසේ පාලිකාව නිවසේ නොමැති අවස්ථාවල ඇයගේ සැමියා තරුණිය ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි.  සැකකරු ළමා නිවාසයේ දැරියන් දස  දෙනකුද ආකාරයෙන් වරින් වර ලිංගික අපයෝජනවලට ලක්කර ඇති බවට පරීක්‍ෂණ වලදී තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඔහු සිය බිරිය පාලිකාව වශයෙන් සේවය කරන ළමා නිවාසයට පැමිණි අවස්ථාවලදී මෙම දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  පරීක්ෂණ වලින් හෙළි වූ තොරතුරු මත සැකකරු රක්වාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයයූරිය