ranga-viraj-jayasinghe

අලුත්ගම ප්‍රදේශයේදී රංග විරාජ් ජයසිංහ නමැති 34 හැවිරිදි එක්දරු පියකුට හෙල්මට්වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු අනුව මෙම සිද්ධිය මුලින් වාර්තාවූවාට වඩා වෙනස් ලෙස හඳුනාගන්නට ලැබේ.
රංග එදින සවස සිය යතුරු පැදියෙන් පටු පාරක් දිගේ ගොස් ඇත්තේ කඩයට ගොස් පාන් ගෙඩියක් රැගෙන ඒමටය. ඔහු ගමන් කරන අතර පසුපසින් ස්කූටර දෙකකින් තරුණ කණ්ඩායමක් පැමිණ ඇතිඅතර ඔවුන් රංගට වෙට්ටු දමමින් ගමන් කර තිබේ.


එම අවස්ථාවේ පාරේ මේ ආකාරයට ගමන් නොකරන ලෙසත් කුඩා දරුවන්ට අනතුරක් සිදුවිය හැකි බවත් ඔහු එම පිරිසට අවවාද කර තිබේ.
මෙම කතාව නොරිස්සු තරුණ ගැටවුන් මොහු සමග දබරයට පැමිණි අතර පාළු නිවසක් ආසන්නයේ නැවතී ඇතිවූ කථාබහින් පසු ඔවුන් වටකර රංගට පහරදී ඇත. දෙන්නෙකු අත හෙල්මට් තිබූ බවත් ඔවුන් හෙල්මට් වලින් රංගගේ හිස්කබල කුඩු වෙන්නට පහරදුන් බවත් පසුව පළාගිය බවත් පැවසේ.
මේ අවස්ථාවේ අසල්වාසීන් රංග රෝහල් ගත කළ අතර පළාගිය අය සොයා ගෙන යද්දී එක් සිසුවෙකු කඩයක් අස්සේ හැංගී සිටියදී පිරිස පොලිසියට භාරදී තිබුණි. මරණීය තුවාල සහිතව ඇද වැටුණ රංග රෝහල් ගත කිරීමේදී මියගියේය. අසුකරගත් සිසුවාගෙන් ලබාගත් තොරතුරු අනුව  සැකපිට මෙම පාසල් සිසුන් තිදෙනාම වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකාර සිසුන් තිදෙනා වයස 16 සහ 17 වයස්වල පසුවන්නන් බව අනාවරණය විය.


අධිකරණය ඔවුන් බාලක නිවාසයක රඳවා තැබීමට නියෝග කර තිබුණි.
ඔමේෂ් සංජන, ආකාෂ් ප්‍රනාන්දු හා හේෂාන් දිල්ෂක නමැති මෙම සිසුන් මියගිය රංගගේ බිරිය ඩිල්කි පහන්තිහගේ සේවය කරන අලුත්ගම වලගෙදර පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන අය වන අතර ඔවුන් පහරදී මරා දැමුයේ තම ගුරුවරියගේ සැමියාට බව දැන සිටියාද යන්න පැහැදිලි නැත. එම ආරවුල අවස්ථාවේ ඇතිවූ බහින් බස්වීම ගැන තවම පරීක්ෂණ සිදුවේ.
මියගිය රංග මාස 11 ක දැරියකගේ පියෙකු වූ අතර දැරියගේ පළමු අවුරුදු උපන්දිනය සමරන්නට සූදානමින් සිටියදී මෙසේ මියයාම කම්පිත සිදුවීමකි. රංග පුද්ගලික ආයතනයක මෑතක් වනතුරු සේවය කළ බවත් පසුව ඉන් ඉවත්වී අලුත් රැකියාවක් සොයමින් සිටි අයෙකු බවත් වාර්තා විය.
සිසු දරුවන්ට වැඩිහිටියෙකුට අවවාද දෙන්නටවත් අපහසු තත්වයට සමාජය පිරිහී තිබෙන බව මෙම අවාසනාවන්ත මරණයෙන් පණිවිඩයක් ලබාදී තිබේ.