ranil-royal-college

කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ දෙන්නෙකු වන වත්මන් ජනපතිට, අගමැතිට උපහාර උත්සවයක් පැවැත්වීමට එම විදුහලේ වත්මන් විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ඊයේ කටයුතුකර තිබුණි.
විදුහලට පැමිණි ජනපති කියා සිටියේ වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙසය.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත උපහාර පිළිගැන්වීම වෙනුවෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක උපහාර තිළිණ පිළිගැන්වීය.

අධිෂ්ඨානශීලි බව සහ අභියෝග භාර ගැනීමේ ශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ලැබූ පන්නරය බව පැවසූ ජනාධිපතිවරයා තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ රටේ ආර්ථිකය යළි ගොඩනඟා ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගත් රටක් ලෙස ඉදිරියට ගෙන යාමට යයි කියා සිටියේය.
කුමන බාධක හමුවේ වුවද එම වැඩපිළිවෙළ නවතා නොදමන බව කීය.



ජනපති රනිල් මෙසේ කීය.
‘මම සහ අග්‍රාමාත්‍යතුමා අද මෙම ස්ථානයට සහභාගි වීම තවත් සුවිශේෂි සිදුවීමක් එතුමත්, මමත් රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ අධ්‍යාපනය ලැබුවා.
දේශපාලන කරළියේ රාජකීය විද්‍යාලයේ ඉතිහාසය ඉතා ඈතට දිව යනවා.
අද වන විට මෙම රාජකීය විද්‍යාලය ජනාධිපතිවරු දෙදෙනෙක් සහ අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙක් රටට දායාද කර තිබෙනවා. මෙය පාසලේ කැපී පෙනෙන වාර්තාවක්.
රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් ලෙස අප මෙම ජයග්‍රහණ ලබාගත් බව කිව යුතුයි.
අද මම ඔබ අමතන්නේ අපි රටක් ලෙස ඉතා අසීරුතාවකට පත්ව ඇති මොහොතකයි. පසුගිය වසර 400ටම මෙවන් තත්ත්වයක් රට තුළ උදා වී නැහැ. අද අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. මම පොදු ආර්ථික කරුණු ගැන මෙතන කථා කරන්නේ නැහැ. නමුත් මෙම තත්ත්වය ඔබ සියලුදෙනාටම බලපානවා. මේ රටේ සෑම නිවසකටම ඉන්ධන හිඟය, විදුලි බලය නැතිවීම සහ ගොවිතැනට අවශ්‍ය පොහොර නොලැබීම බදු වැඩිවීම වගේම උද්ධමනය ඉහළයාම නිසා ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.
මම රට භාරගන්නා අවස්ථාවේ රටේ සමස්ථ ආර්ථිකයම කඩා වැටිලයි තිබුණේ.
රට බංකොළොත් රටක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙන යාමට මම කැමැති නැහැ. මේ රටේ ජනතාව දුක් විඳිනවා බලා සිටීමට මම කැමති නැහැ.


අභියෝග භාර ගැනීම මෙන්ම නිවැරදි දේ සහ රටට හිතකර දේ කිරීමට මම මේ රාජකීය විද්‍යාලයෙන් ඉගෙන ගෙන තිබෙනවා.

අපි සාර්ථකවත්වය ලබා ගැනීම සඳහා නැවත සටන් කළ යුතුයි. අපේ වටිනාකම් රැක ගැනීමට නම් අපි තනිවමත්, කණ්ඩායමක් ලෙසත් සටන් කළයුතුයි. ඉතින් ඔබෙන් කොටසක් අධ්‍යාපනය සඳහා පිට රට යයි. තවත් පිරිසක් මෙහි රැඳි සිටි. නමුත් ඔබව පිරිපුන් මිනිසුන් බවට පත් කළේ රාජකීය විද්‍යාලය බව ඔබ මතක තබාගත යුතුයි.
මම රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මට උසස් අධ්‍යාපනය සඳහා පිට රටකට යාමට හැකියාව තිබුණා. මගේ පියාටත් අවශ්‍ය වුණේ එයයි. නමුත් මම මේ රටේම සිටීමට තීරණය කළේ මට මගේ රට වටින නිසයි. ඉතින් මම පාසලෙන් ඉවත් වූවායින් පසු පිට රටකට ගියේ නැහැ. මම මේ රටේම සිටම උසස් අධ්‍යාපනය හැදෑරුවා. මම මගේ රටට ණයගැතියි. මගේ අධ්‍යාපනයට වියදම් කළේ මේ රටයි. ඒ වගේම මම රාජකීය විද්‍යාලයට ආදරෙයි.
ඒ වගේම අග්‍රාමාත්‍යතුමා උසස් අධ්‍යාපනය සඳහා පිට රට ගියත් රට වෙනුවෙන් ඔහුගේ වගකීම සහ යුතුකම අමතක කළේ නැහැ. ඒ නිසා ඔහු උසස් අධ්‍යාපනයෙන් පසු නැවත රටට පැමිණියා. ඔබ සියලුදෙනාත් කළ යුත්තේ එයයි.
ඔබ සියලුදෙනා මෙම පාසලට පැමණීමට වරම් ලැබුවත් එම අවස්ථාව අහිමි වූ සිය ගණනක් සිටිනවා. ඒ සියලුදෙනා අතරින් මේ පාසල ඔබව තෝරා ගත්තා. ඒ නිසා ඔබට වගකීමක් තිබෙනවා මේ රටේ සිට රට ගොඩනැඟීමට දායක වීමට.‘