sabaragamuwa-university-incident

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර පෙරේදා (15) වැනිදා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් විශ්ව විද්‍යාලය ඊයේ (16) වැනිදා තාවකාලිකව වසා දැමීමත් සමඟ සිසුහු පිරිසක් උප කුලපතිවරයාගේ කාර්යාලය ඊයේ (16) පස්වරුවේ වටකර සාකච්ඡාවක් ඉල්ලා සිටියහ.  සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් කළ පහරදීමකින් පළමු වසරේ සිසුන් නවදෙනකු තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට පෙරේදා (15) රාත්‍රියේ ඇතුළත් කළ බව සමනලවැව පොලිසිය කියයි.

විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳව හේතුව විමසා සිටීමට උප කුලපතිවරයා හමුවීමට අවශ්‍ය බව කියමින් සිසුහු උප කුලපතිවරයාගේ කාර්යාලය වටකළහ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුම හේතුවෙන් පළමු වසරේ සිසුන් අනෙකුත් පීඨවල සිසුන්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා ඊයේ (16) සවස නිවේදනය කළේය. සිසුන් දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුමක් හේතුවෙන් නවක සිසුන් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බැවින් එම පියවර ගත් බව උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා කීය.පළමු වසරේ සිසුන්ට හැර සියලුම පීඨවල සිසුන්ට ඊයේ සවස 4.00 ට පෙර ඉවත් වන ලෙස ද දැනුම් දී තිබිණි.

එහි කළමනාකරණ පීඨයේ තුන්වැනි වසරේ සහ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට අනාවරණය වන බව පොලිසිය සඳහන් කරයි. පහරකෑමට ලක්ව ඇති සිසුන් පිරිස සබරගමුව විශ්වවිද්‍යාලයේ දයාසාන්ති නේවාසිකාගාරයේ රැඳි සිට ඇති අතර ජ්‍යෙෂ්ඨ සිසුන් එම නේවාසිකාගාරයට ඇතුළු වී නවක සිසුන්ගේ කොණ්ඩා සහ රැවුල කපා නොමැති බව පවසා මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

සබරගමුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදය රත්නායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී මෙසේ පැවසීය.

විශ්වවිද්‍යාලයේ පිහිටි දයා සාන්ති නේවාසිකාගාරයේ සිටි පළමු වසරේ සිසුන්ට තවත් සිසුන් පිරිසක් ඇවිත් පහරදීමක් සිදු කරලා තියෙනවා. එයින් සිසුන් නවදෙනෙකු රෝහල් ගත කළා. තුවාල ලබපු සිසුන් මෙම ගැටුම පිළිබඳව සමනල වැව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. නවක වදය සිද්ධියක් වශයෙන් තමයි අප මෙය දකින්නේ. ඒ නිසා තමයි තාවකාලිකව වැහුවේ. දෙවැනි, තුන්වැනි සහ සිව්වැනි වසරවල දරුවන් නේවාසිකාගාර වලින් නිවාස වලට ගෙන්න ගන්නා ලෙස උප කුලපතිවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය. සබරගමුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමෙන් පසු බොහෝ සිසුන් තම නිවෙස්වලට යනු දක්නට ලැබිණි.
නාලක ජේ. හෙට්ටිආරච්චි