sanath-nishantha-court

ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේ දී මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව,

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව 2ක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා දැනුම් දුන්නේය.

විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන හඬ පට සම්බන්ධයෙන් සැකයක් ඇත්නම් රජයේ රස පරීක්‍ෂවරයා වෙත ඒවා යොමු කිරීමට හැකියාව ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය දැනුම් දුන් අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා ඊට විරුද්ධත්වය පළ කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ඒ.එම්.ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදි. ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේ දී මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා අධිකරණ සේවා සංගමය  මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරන අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතීඥවරුන් දෙදෙනකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව නඩු විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහුට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා සහ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරන ලදී.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම මාර්තු මස 28 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා සාලිය පීරිස් යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටියේය. නීතීපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.

මනෝප්‍රිය ගුණසේකර