shaster-eran

දිනේෂ් ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ පිටුපස කිසියම් අසාධාරණ යමක් සිදුවන බව පෙනී යන හෙයින් මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම මරණය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර වාර්තා දෙකක් නිකුත් කිරීම විකාර සහගත බව පැවසූ මන්ත්‍රීවරයා ව්‍යාපාරික ප්‍රජාව අතරේ මේ ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වී තිබෙන බවද ප්‍රකාශ කළේය. මෙම ප්‍රශ්නය නිරාකරණය නොකර ආයෝජකයන්   මෙරටට ගෙන්වීමට සිතන්නේ නම් එය විහිළුවක් බවද පැවසුවේය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන්  සභාව පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.  ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද පැවසුවේය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව අතර ලොකු කතාබහක් ඇතිවී තිබෙනවා. දිනේෂ් එන්නෙ මේ රටේ කීර්තිමත් ව්‍යාපාරික පවුලකින්. ජනාධිපතිතුමාත් මේ පවුල පෞද්ගලිකවම හඳුනනවා. මේගොල්ලන් දේශපාලඥයන්  නොවෙයි. එකම අධිකරණ වෛද්‍යවරයා මේ ඝාතනය ගැන වාර්තා දෙකක් දෙනවා. මේක විකාරයක්. මුලින්ම ගෙල හිරකරලා  කියලා දුන්න.

ඊට පස්සේ සියදිවි හානි කරගත්තා කියලා දුන්නා. පළමු වාර්තාව දෙවැනි වාර්තාවෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ පරීක්ෂණය සාධාරණව සිදු විය යුතුයි. මෙහෙම වෙන කොට විදේශ ආයෝජකයන් එන්නේ කොහොමද? මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාට කියනවා මේක බැරෑරුම් සිද්ධියක්. මෙතන මේවා කතා කරන්නෙ නැත්නම් කොතනද කතා කරන්නෙ.

තාජුදීන් ඝාතනය ගැන අපිට මතකයි. එතනදිත් ඔය ප්‍රශ්නය ආවා. රටේ බොහෝ ප්‍රශ්න තියෙන්නේ දේශපාලඥයන් නිසා නොවේ.  වෘත්තීයවේදීන් නිසා. නීතිඥවරුන්  වෛද්‍යවරුන් හරියට හිටගන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුව හරියාකාරව ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ප්‍රශ්නය ගැන බලන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා යැයිද ඔහු කීවේය.

අංජුල මහික වීරරත්න