dinesh-shasterkilled-jana-shakthi-president

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ  අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් සිදුකළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා සහ ඔහුගේ ඇඳ ඉහපත් අංක සහිත සියලු පරීක්ෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය

කොළඹ  ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ඊයේ (22) දෙවැනි වරටත් නියෝගයක් නිකුත් කළාය.කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඉකුත් 2022 දෙසැම්බර් මස 15 වැනිදා පස්වරු 3.30ට පමණ ඇතුළත් කළ මරණකරුගේ ඇඳ ඉහපත් අංකය සහ මරණකරු සම්බන්ධයෙන් සිදුකළ සියලු පරීක්ෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියෝගයක් නිකුත් වූයේ ඉකුත් 14 වැනිදාය.



එහෙත් එම වාර්තා අධිකරණයට මෙතෙක් නොලැබීම හේතුවෙන් ඒවා 24 වැනිදාට ප්‍රථම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට කළ  නියෝගයෙන් නැවත සිහි කැඳවීමක් කළේය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ  මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම ලබන 27 වැනිදා සිදුකරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළාය. මෙම පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අධිකරණයට එවනු ලැබ ඇතැයි ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

මරණකරුගේ මරණ පරීක්ෂණ සහතිකයේ ඇති පරස්පරතාව නිරාකරණය කර ගත යුතුව ඇති අතර ඉන් පසුව මරණයට හේතුව තමන්  විසින් ප්‍රකාශ කළ යුතුව ඇති බවත් ඒ අනුව,

මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව ඉදිරි සතියේදී පත්කරනු ලබන බවත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සඳහන් කළාය. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය. නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සහ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද, මරණයට පත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඥාතීන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥ මඬුල්ලක්ද අධිකරණය හමුවේ පෙනී සිටියහ. සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 27 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.

නිමන්ති රණසිංහ