thalangama-raid

උසස් අධ්‍යාපනය සදහා මුදල් සොයා ගැනීමට බව කියමින් ගණිකා වෘත්තියේ  යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.  තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව ද පොලිසිය සඳහන් කරයි.

කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදයකුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් (1445) බටුවත්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය (31867) රාජගුරු, (92896) අකිල යන නිලධාරීන් තරුණියන් මිල දී ගන්නා පුද්ගලයන් සේ වෙස් වළාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරකට ගොස් මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.

එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් අකැමැත්තෙන් වුවද මෙම රැකියාව තෝරා ගත් බව ඔවුන් හඬා වැටෙමින් පැවසී යැයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය. වයස අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන මෙම තරුණියන් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල අය බවත් කොළඹ ප්‍රධාන පෙළේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට ඔවුන් තම මවුපියන්ට හා ඥාතීන්ට පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටි බවත් එම නිලධාරියා කීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ