three-wheel-thief

කොල්ල කෑ ත්‍රිරෝද රථයකින් බණ්ඩාරගම ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී නිවැසි යුවළද බැඳ බඩු භාණ්ඩ, විදුලි උපකරණ හා රන් අභරණ ඇතුළු දේපොළ රැසක් කොල්ලකා පලාගිය සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පානදුර මහවිල රෑ කඩේ ප්‍රදේශයේදී කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකට ගොඩවැදුණු  හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගැලනිගම පසුකර යාමේදී අතුරු මාර්ගයක් පෙන්වා ගමන් කරන ලෙස ත්‍රිරෝද රථ රියැදුරුට පවසා තිබූ අතර රියැදුරු එය ප්‍රතික්ෂේප කිරිමත් සමගම ගෙලට තියුණු ආයුධයක් එල්ල කර මරණීය තර්ජනය කර තිබූ බව පොලීසිය පවසයි.



අනතුරුව එම පිරිස ඉදිකරමින් පවතින නිවසකට රැගෙන ගොස් එහි තිබූ ඇදකට තබා රියැදුරා බැද දමා ත්‍රිරෝද රථය කොල්ලකා රැගෙන ගොස් එම ඊට ආසන්න නිවසකට කඩා වැදී නිවැසි යුවළ බැඳ දමා මෙම කොල්ලය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. කොල්ලකරුවන් නිවසේ සිටි කුඩා දරුවෙකු පැලද සිටි රන් ආභරණද ගලවා ගෙන ඇතැයි පැවසේ. කොල්ලකරුවන් නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක්, දුරකථන දෙකක්, පවුම් 10කට අධික රන් ආභරණ තොගයක් මුදල්, වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් කොල්ලකා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නිවෙස් හිමියා මීට දින කිහිපයකට ඉහතදී විදේශගතව පැමිණි පුද්ගලයෙක් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම නිවැසියන් කතරගම වන්දනාවේ ගොස් පැමිණ මද වේලාවකට පසු මෙම කොල්ලය සිදු කර ඇතැයි වාර්තා වේ.  කොල්ල කෑ ත්‍රිරෝද රථය බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හන්දිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පෙරේදා සවස සොයාගත් බව පොලීසිය කියයි. කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.  බණ්ඩාරගම පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ශසික මධුසංඛ මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.


බිමල් ශ්‍යාමන් ජයසිංහ