treasure-hunter-uses-map-left

දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භක කාලසීමාවේදී පමණ නැගෙනහිර පෝලන්තයේ වාසය කළ ග්ලාසෙව්ස්කි නම් පවුලක් සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් උපන් බිමෙන් පලා යද්දී එහි වළ දැමූ රිදී භාණ්ඩ ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් සොයා ගැනීමට එම පවුලේ වර්තමාන පරම්පරාවේ සාමාජිකයෙකු සමත් වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 69 හැවිරිදි වියේ පසුවන ජැන් ග්ලාසෙව්ස්කි එම වර්තමාන පරම්පරාවේ සාමාජිකයා වෙයි. ඔහු දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ පරිසරවේදය පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙකි.

ඔහුගේ පියා වන ගුස්ටොව් ග්ලාසෙව්ස්කි විසින් සිය පියාගේ (ජැන්ගේ සීයාගේ) මං සලකුණු අනුව සකස් කරන ලද සිතියමක් යොදා ගනිමින් ජැන් මෙම රිදී භාණ්ඩ සහිත වස්තුව සොයා ගැනීමට සමත්ව තිබේ. දෙවැනි ලෝක යුද සමයේ මුල් නිමිති පළවෙමින් තිබූ 1939 වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ පෝලන්තය ආක්‍රමණය සඳහා සෝවියට් රුසියානු හමුදාවන් පැමිණෙන අවස්ථාවේදී ග්ලාසෙට්ස්කි පවුල මෙලෙස සිය උපන් බිම් අතහැරීමට තීරණය කර ඇත. ඒ අනුව එම පවුලේ සාමාජිකයන් තමන් සතුව තිබූ වටිනා භාණ්ඩ මෙලෙස වළ දැමීමට පියවර ගෙන තිබේ. ජැන්ගේ සීයා වන ඇඩම් පමණක් එම මොහොතේදී එහි රැඳී සිට ඇති අතර, පසුව උද්ගත වූ තත්ත්වයත් සමග ඔවුන් වර්තමානයේදී යුක්රේනයට අයත් ල්විව් නගරය වෙත පැමිණ තිබේ.



එහෙත් ගුස්ටාව් ඇතුළුව ඇඩම්ගේ දරුවන් සිවු දෙනාගෙන් කිසිවෙකුත් එරට රැදී නොසිට ඇති අතර, ඔවුන් ලෝකයේ විවිධ රටවල් වෙත සංක්‍රමණය වී ඒවායේ පදිංචියට ගොස් තිබේ. ඒ අතරින් ගුස්ටාව් දකුණු අප්‍රිකාවේ ස්ථිර පදිංචියට යොමුවී තිබේ. ගුස්ටාව් මේ සිතියම සකස් කරන්නේද එහිදීය.  ජැන් කුඩා කල පටන්ම මෙම රිදී භාණ්ඩ ඇතුළු වස්තුව සොයා ගැනීම පිළිබඳ උනන්දුවකින් පසුව ඇති අතර, 1980 දශකයේදී පමණ ඔහු මේ පිළිබඳව සිය පියාගෙන් විමසා තිබේ. ඒ අනුව ඔහු සිය පියා වන ගුස්ටව්ගෙන් එම වස්තුව වළදැමූ ස්ථානය පැහැදිලිව සටහන් කර දෙන ලෙස ඉල්ලා තිබේ.

"මගේ තාත්තා ටිකෙන් ටික වයසට යමිනුයි සිටියේ. දවසක් මම ඔහුට කිව්වා මේ වටිනා සම්පත් වළදාපු තැන ගැන සිතියමක් මට දෙන්න කියලා. එතකොට මට ඒ වත්තට ගිහින් ඒවා ආයිත් සොයා ගෙන යන්න පුළුවන් කියලා මම ඔහුට කිව්වා.” ජැන් පවසයි.

ඒ අනුව 1939 වසරේදී සිය පියා වන ඇඩම් විසින් එම වස්තුව වළදැමූ ස්ථානය පිළිබඳව වසර 50ක් පුරා රැකගෙන සිටි මතකයත් සමග ගුස්ටාව් 1989 වසරේදී  එම ස්ථානය පිළිබඳ සිතියමක් ජැන් වෙත ලබාදී තිබේ. එහිදී ගුස්ටාව් විසින් යම් උපදෙස් කිහිපයක්ද පැන් වෙත ලබා දී ඇත.



"මේ උපදෙස්වල අන්තිමට තිබුණු වචනය වුණේ,  ඔබ අපගේ රිදී සොයා ගන්නවා වගේම මගේ දඩයම් තුවක්කුවත් සොයා ගත යුතුයි.” කියලයි යනුවෙන් ජැන් පවසයි. ඒ අනුව මෙය මුල්වරට කියවද්දී එය යම් අණදීමක් ලෙස හැගුණත්, එය ඔහුගේ තිබූ සිහිනයක් සම්පූර්ණ කිරීමක් ලෙස තමන්ට අද හැගෙන බවත් ජැන් සඳහන් කරයි.  දකුණු අප්‍රිකාවේ පදිංචිව සිටින කාලයේදී ගුස්ටාවි  දෙවැනි ලෝක යුද සමයේදී මිත්‍ර පාර්ශ්වය වෙනුවෙන් සටන් වැදී ඇති යුද සෙබලෙකි. ඔහු 1991 වසරේදී මියගොස් තිබේ. එසේම යුක්රේනය සෝවියට්  සමූහාණ්ඩුවෙන් නිදහස  හිමි කරගත්තේද එම  වසරේදීය.

ඉන් වසර 10කට පසුව  එනම් 2001 වසරේදී ජැන් යළිත් එදා පෝලන්තය අතර දේශසීමාවේ පිහිටි අද යුක්රේනයට අයත් භූමියක්ව පවතින සිය පවුලේ උපත් බිම වෙත පළමුවරට ගොස් තිබේ. අනතුරුව සිය සීයා  ඇතුළු ග්ලාසෙව්ස්කි  පවුලේ සාමාජිකයන්  වළදැමූ වස්තුව සෙවීමේ මෙහෙයුම් ඔහු අරඹා ඇත්තේ 2019 වසරේදීය. එහිදී ඔහු සිය පරිසරවේදය පිළිබඳ මහාචාර්ය වෘත්තියෙන් ලබාගත් අත්දැකීම්ද මේ සඳහා යොදාගෙන ඇත.

"එය ගොඩක් අසීරු දෙයක්. හරියට පිදුරු ගොඩක ඉදිකට්ටක් හොයනවා වගේ. මගේ පියා මේ සිතියමේ සටහන් කළ ගෙදර, රුසියානුවන් විනාශ කරලයි තිබුණේ. ඒත් මට එහි අත්තිවාරම් සොයාගන්න ලැබුණා. මේ සිතියමේ වගාබිමක් සලකුණු වෙලා තිබුණත් දැන් එය ලදු කැලයක් වෙලා තිබුණා.” ජැන් පවසයි.

අවසානයේදී එම සිතියමේ ඇති උපදෙස් අනුව පැන් ඇතුළු කණ්ඩායමට මෙම වස්තුව වළදමා තිබූ ස්ථානය සොයා ගැනීමට හැකිව තිබේ. එහිදී ඔහු යුක්රේනියානු ලෝහ හඳුනාගන්නන් දෙදෙනකුගේ සහායද යොදා ගෙන ඇත. ජැන් පවසන ආකාරයට මෙලෙස හමුවූ ඇතැම් රිදී භාණ්ඩ ඇතුළු වස්තුවෙන් කොටසක් ඇසුරුම් කර ඇත්තේ ඔහුගේ මව විසිනි. ඇය ඔහුගේ වයස අවුරුදු 07දී මෙලොව හැර ගොස් ඇත.



"අපිට මෙතැන තියලා ආභරණ පෙට්ටියක් හම්බ වුණා. අපි හිතනවා ඒක මගේ අම්මා මේ වළට දාපු එකක් කියලා. ඇය දැනට අවුරුදු 80කට කලින් මේ විදියට පරිස්සම් කරපු මේ වස්තුව ගැන මට තියෙන්නේ හරි අමුතු හැඟීමක්. ” යනුවෙන්ද ජැන් පවසයි. මෙම ග්ලාසෙස්කි පවුලේ ප්‍රධානියා, එනම් ඇඩම් ග්ලාසෙව්ස්කි 1961 වසරේදී යුක්රේනයේ ල්විව් හිදී මියගොස් ඇත. විවිධ රටවල පදිංචියට ගිය ග්ලාසෙව්ස්කි පවුලේ සහෝදරයන් සිවුදෙනා 1967 වසරේදී ප්‍රංශයේදී යළිත් එකිනෙකා හමු වී තිබේ.