walana-raid

නීතිවිරෝධී අයුරින් කොටස් එකලස් කර සකස් කරන ලද රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් සිය භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. චැසි හා එන්ජින් අංක නීති විරෝධී අයුරින් ඇතුළත් කළ සුඛෝපභෝගී ජීප් රථයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව හලාවත මැරවල දී වැටලීමක් කර ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.



ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ දී එය පරිහරණය කළ බව කියන පුද්ගලයා සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බව ද පොලිසිය  කියයි. ජිප් රථය පරිහරණය කළ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසීමේ දී ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප් රථය මීට මාස 6කට පමණ ඉහත දී මිල දී ගත් බවට ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි. ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේ ඇති වූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් ඒ පිළිබඳව ජිප් රථය තමාට විකුණූ පුද්ගලයාට පැවසූ බවත් පසුව ඔහු එය සකස් කර දෙන බවට පොරොන්දු වී තමා සතුව තිබූ ලිපි ලේඛන සියල්ල නැවත ගත් බව වාහනය පරිහරණය කරන පුද්ගලයා ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. එම පුද්ගලයා ජීප් රථය මිලදී ගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයා වාහන ජාවාරම්කරුවකු බවත්,

ඔහු වංචනික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී  ඇත. ජීප් රථය හලාවත පොලීසියට බාර දී ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදුකරනු ලබයි.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ