weliweriya-couple-issue

වැලිවේරිය, ඇඹරළුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුවළක් තම මෝටර් රථය පැදවීමට පුවත්පත් දැන්වීමක් පළකොට බඳවාගත් රියැදුරා විසින් එම මෝටර් රථය අලෙවි කළ බවට පැමිණිලි කිරීම මත රථය සොයාගත් බව වැලිවේරිය පොලීසිය සදහන් කරයි. අදාළ විශ්‍රාමික යුවළ මීට මාස දෙකකට පමණ පෙර පුවත්පත් දැන්වීමක් පළ කරමින් 46 හැවිරිදි පුද්ගලයෙකු රියැදුරු ලෙස බඳවා ගෙන ඇත. මේ අතර පසුගිය (12දා)

විශ්‍රාමික යුවළ කඩවත දේවස්ථානයට ගොස් ආපසු පැමිණීමට බැලීමේදී රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා රථය සහ රියැදුරා නොමැති බව පෙනී යාම මත මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ බව වැලිවේරිය පොලීසිය පවසයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරමින් කළ පරීක්ෂාවේදී රියැදුරා විසින් පසුගිය 12වෙනි දින යුවළ දේවස්ථානයට ඇරලවා , ඇඹරළුව නිවස වෙත පැමිණ  ගෙහිමියාගේ ජාතික හැඳුනුම්පත සහ මෝටර් රථයේ ලියාපදිංචි සහතිකයද සොරා ගෙන රථයෙන් පලාගොස් ඇති බව පෙනී යාම මත වැඩිදුර පරීක්ෂණ සිදු කළ බව පොලීසිය පවසයි. මේ අනුව පසුගිය දිනෙක රියැදුරා මෙම රථයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී පොලිස් රථවාහන අංශය මගින් ලබාදුන් දඩ කොළයක සඳහන්ව තිබූ මීගමුව, දළුපොත ප්‍රදේශයේ ලිපිනයක් පරීක්ෂා කළද එය ඔහු කලකට පෙර කුලියට සිට ඇති නිවසක් බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි.

අනතුරුව මහරගම ප්‍රදේශයේ අයෙකුට වාහනයක් අලෙවි කිරීමට යාමේ සිද්ධියක් සැලවූයෙන්

ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමට අනුව මිනුවන්ගොඩ පුද්ගලයෙකුට මෙම රථය අලෙවි කොට තිබියදී සොයා ගැනීමට හැකිවී යැයි පොලීසිය සදහන් කරයි. රථය පොලිස් භාරයට ගෙන සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී රථය සොරාගත් රියදුරා, රථයෙහි හිමිකරු ලෙස පෙනී සිටිමින් රථයේ ලියාපදිංචි සහතිකය සහ මෝටර් රථයෙහි නියම හිමිකරුගේ ජාතික හැඳුනුම්පතද ඔහුගේ බවට ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 16කට අලෙවි කරමින් පැවරීම සිදු කොට ඇති බව අනාවරණය වී තිබේ. මේ වනවිට වංචාකාර රියැදුරා කවුරුන්ද යන්න හදුනාගෙන සිටින බව පවසන පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් නොදන්නා පුද්ගලයන් කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිකර ගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කිහිප වරක් සිතිය යුතු බවත් පවසයි.


තිලකරන්න දිසානායක