wellampitiya-doctor-fake

ඖෂධයක් එන්නත් කිරීමෙන් පසුව එය විෂවී තරුණයකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (20) නියෝගයක් නිකුත් කළාය.  මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ දෙමටගොඩ පාර, කොළඹ 09 ලිපිනයැති ආයුර්වේද වෛද්‍ය මොහමඩ් මහරුෆ් කරීම් මොහොමඩ් උවයිස් යන අයගේය.

මෙම තරුණයාගේ කෙටි පශ්චාත් මරණ පරික්ෂණ තීන්දුව විවෘත තීන්දුවක් ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දෙනු ලැබ ඇති බවත්,

ඔහුගේ මරණය සැක සහිත බවට මරණකරුගේ මව පැමිණිලිකර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. ඒ අනුව මෙම එන්නත ලබාදුන් වෛද්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත්  කළාය.මරණය සම්බන්ධයෙන්  මුල් පැමිණිල්ල යොමුකර ඇත්තේ අයි.ඩී.එච්. රෝහලෙන් බව ද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

උදරයේ ආම්ලිකතාව නැතහොත් ගැස්ට්‍රයිටීස් රෝගයට ලබාදෙන ඖෂධයක් ලබාදීමෙන් පසුව මෙලෙස මරණයට පත්ව ඇත්තේ, වෙන්නවත්ත, වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පදිංචි ලෝෂණ ධනංජය පින්නදූව නමැති තරුණයෙකි. විසිපස් හැවිරිදි ඔහු පෞද්ගලික සමාගමක මුදල් අයකැමිවරයෙකි. රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තමන් සහ මියගිය තම පුත්‍රයා ඉකුත් ජනවාරි මස 27 වැනිදා සවස වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තම දියණියගේ නිවසට ගිය බවත්, එහිදී තම පුත්‍රයා හදිසියේ අසනීප වූ බවත් මරණකරුගේ මව ප්‍රකාශයක් දෙමින් සඳහන් කළ බව වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මියගිය තම පුත්‍රයා ‘බඩ' සහ 'පපුව' දැවිල්ල ගන්නා බව පවසමින් වේදනාවෙන් පසුවූ බැවින් සිය දියණියගේ නිවස ආසන්නයේ සිටින මෙම වෛද්‍යවරයා හමුවට රැගෙන ගිය බවත්, එහිදී මෙයාට අමාරුයි මෙයාව රෝහලකට අරගෙන යන්න යනුවෙන් වෛද්‍යවරයා පැවසූ බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් දක්වා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා තිබිණි.

'අනේ ඩොක්ටර් පොඩ්ඩක් බලන්න ' යැයි තමන් වෛද්‍යවරයාට දැනුම් දුන් බවත්, එහිදී මරණකරු පරික්ෂා කළ වෛද්‍යවරයා ඔහුට 'ගැස්ට්‍රයිටීස්’ වැඩිවී ඇති බවට සඳහන් කළ බවත්, පැමිණිල්ල සඳහන් කර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව රෝගියාට එන්නතක් විදින්නදැයි වෛද්‍යවරයා තමන්ගෙන් විමසා සිටි බවත්, තමන් ඊට කැමැත්ත පළ කිරීමෙන් පසුව ඔහුට එන්නතක් ලබාදී ටික වේලාවක් එහි රැඳී සිටින ලෙසට තමන්ට දැනුම් දුන් බවත්, පැමිණිල්ල සඳහන් කර ඇති බව පොලීසිය සිය බී වාර්තාවෙන් අධිකරණය දැනුවත් කර ඇත. එන්නත විදීමෙන් විනාඩි පහකට පමණ පසු තම පුත්‍රයා දරදඬු වී ගැහෙන්නට වූ බවත් එහිදී ඔහු වහාම අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන අතරතුර දී මරණයට පත්වූ බවත් පැමිණිල්ල කරුණු ඉදිරිපත් කර තිබූ බව ද වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

වන්ෂොට් යන නමින් ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිතව සිටින මෙම වෛද්‍යවරයා ආයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචිව සිටින අයකු වන බවත්,

ඔහුට එන්නත් දීමේ බලයක් නොමැති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. ඒ අනුව, වෛද්‍යවරයා මරණකරුට එන්නත් කළ ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් කැඳවීම සඳහා අදාළ ඖෂධය ඖෂධ අධිකාරිය වෙත ඉදිරිපත් කළ බව ද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත. මෙම මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ලැබෙන තෙක් වෛද්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වෛද්‍යවරයාගේ විදෙස්ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසට වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.

නිමන්ති රණසිංහ