15-years-in-prison-for-stabbing-concubine-to-death

සිය අනියම් බිරිඳට පිහි පහරවල් 18ක් ඇන ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ අයකුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (8 වැනිදා) නියම කළේය. හොරණ, බටුවිට ප්‍රදේශයේ පදිංචි දොන් ඉන්ද්‍රජිත් පුෂ්පකුමාර නොහොත් සුභාෂ් නමැති 46 හැවිරිදි නමැත්තකුට මෙම සිර දඬුවම නියම විය. සිර දඬුවමට අමතරව රුපියල් පන්දහසක දඩයක් නියම කළ අතර, දඩය නොගෙවන්නේ නම් අමතර මසක ලිහිල් සිර දඬුවමක් නියම කරන බව ද සඳහන් කළේය. මරණකාරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ඇයගේ පුතුට ගෙවන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එකී වන්දි මුදල නොගෙවන්නේ නම් අමතර වසර පහක ලිහිල් සිරදඬුවමක් නියම කළේය.



2014 මැයි 23 වැනිදා හෝ ඊට ආසන්න දිනක හොරණ බටුවිට ප්‍රදේශයේ දී මනික්කදර චමිලා චාන්දනී ද සිල්වා 39 හැවිරිදි එක්දරු මව තම කිරි දරුවා සමග සිටිය දී ශරීරයේ ස්ථාන කිහිපයකට පිහි පහරවල් 18 ක් ඇත ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් දිස්ත්‍රික් මහාධිකරණයේ නඩු පවරා තිබුණි. දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සේ සලකා දීර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එකී නඩුවේ දෙවැනි සහ තුන්වැනි විත්තිකරුවන් වන ගෝනපොල, ඔලබොඩුවේ පදිංචි නිශ්ශංක ආරච්චි අප්පුහාමිගේ මුනිදාස නොහොත් සුදු අයියා (62) සහ හොරණ, බැල්ලපිටියේ පදිංචි ලොකු පතිරණගේ මහේෂ් (43) යන අයවලුන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.



විත්තිය වෙනුවෙන් නීතිඥ මහින්ද යූ. ගමගේ මහතා සඳහන් කළේ සිය සේවාදායකයා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට උත්සාහ දරා ඇති බවත්, හදිසි කෝපය නිසා මරණය සිදුව ඇති බැවින් ලිහිල් දඬුවමක් නියම කරන ලෙසය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳි මහතා සඳහන් කළේ මෙම ඝාතනයෙන් කුඩා දරුවකුට මවකගේ සෙනෙහස අහිමව ඇති බැවින්, එකී වරදෙහි බරපතළකම සලකා සමාජයට පණිවිඩයක් ගෙන දෙන අයුරින් උපරිම සක්‍රීය සිරදඬුවමකට යටත් කරන ලෙසයි.

සුමිත් පොතුපිටිය