A-call-to-the-DIG-saying-that-the-son-of-the-Presidents-Secretary-should-release-the-captured-Big-Match-truck

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පුතා බව සඳහන් කරමින් පොලිස් භාරයේ තිබූ වාහනයක් මුදා ගැනීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දෙමින් ඉල්ලීම් කළ තරුණයකු ඊයේ (16 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.



කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර මේ දිනවල පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලියට සමගාමීව පවත්වන රථවාහන පෙළපාළියකදී රථවාහන වරදක් කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ භාරයට ගත් වාහනයක් මුදා ගැනීමට කටයුතු කළ සැකකරුවකු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිගස්ඕවිට, පාලගම, ලැව්නියා විලේජ් පදිංචි 23 හැවිරිදි අධිකාරි මුදියන්සේලාගේ ගනිදු ඒෂාන් අධිකාරී නමැති සැකකරු පෙරේදා (15 වැනිදා) සවස 2.30 ට පමණ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක වෙත දුරකථන ඇමතුමක් ගෙන ‘‘තමා ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පුතා බවත්, තම මිතුරකුගේ වාහනයක් පොලිස් නිලධාරින් විසින් ලබාගෙන ඇති බවත්, එම නඩුව නිදහස් කර දෙන ලෙසත් ඉල්ලා ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී කුරුඳුවත්ත ග්ලාස් හවුස් හන්දියේදී අංක එන්. ඩබ්ලිව්. ජී. ඉසෙඩ් 6240 දරන වාහනය, අපරීක්ෂාකාරී රිය පැදවීම, අනිසි අංක තහඩුවක් සවිකර ධාවනය කිරීම, වැඩිපුර මගීන් රැගෙන යාම සම්බන්ධයෙන් භාරයට ගෙන තිබෙන බව අනාවරණය වූයේ යැයි ද පොලිසිය දන්වා සිටියේය.

මේ පිළිබඳ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුවත් කර තිබෙන අතර, එහිදී තමාටත් එවැනි ඇමතුමක් ලැබී තිබූ හෙයින් ඒ පිළිබඳ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් විමසීමක් කර තිබේ.



එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශබන්දු තෙන්නකෝන් වෙත දන්වා ඇත්තේ තමාගේ පුතා ලංකාවේ නොමැති බවත්, මෙවැනි ආකාරයේ දුරකථන ඇමතුම් තමාගේ පුතා ලබා නොගන්නා බවත්ය. මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ද ජනාධිපති ලේකම්වරයා එහිදී ඉල්ලා තිබේ.

මෙම සිද්ධියේ බැරෑරුම්කම තම සේවාදායකයාට පැහැදිලි කර දුන් බව සැකකරුගේ නීතිඥ ජනාධිපති නීතිඥ ගුණරත්න වන්නිනායක දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව සැකකරු වරද පිළිගන්නා හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙසද ජනාධිපති නීතිඥ ගුණරත්න වන්නිනායක ඉල්ලා සිටියේය.

සැකකරු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට නියම කළේ ය.

අදාළ නඩුව ලබන 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඉෂාර රත්නකාර