A-rare-occasion-where-four-twins-were-admitted-to-Mayurapada-first-grade

මාවනැල්ල මයුරපාද ජාතික පාසලට ඊයේ (28) පළමු වසරට දරුවන් 175 දෙනෙකු ඇතුළත් කර ගැනීම  සිදුවූ අතර එහි විහේෂත්වයක් වූයේ එකම පවුලක සිවු නිවුන් දරුවන්ද ඇතුළත් කිරීමයි.
දරුවන් 6 දෙනෙක් යුත් මෙම පවුලේ වැඩිමල් දරු දෙන්නාද මෙම පාසලේම අධ්‍යාපනය ලබති.
මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41  හැවිරිදි එම්. ඒ. ජී. සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී. ආර්. ඩී. එරන්දි ජයරත්න යුවළට දාව 2017-04 -11 වන දින පේරාදෙණිය මහ රෝහලේ දී සිවු නිවුන් දරු උපත සිදුව තිබුණි. ඒ පිරිමි දරුවෙක් හා ගැහැනු දරුවන් තිදෙනෙක් වශයෙනි. මෙම සිවු නිවුන් දරුවෙන්ගේ පියා දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයෙකු ලෙස සේවය කරන අතර මව ගෘහණියකි. මෙම දරුවන් සිවුදෙනාට මවුපියන් විසින් පිළිවෙළින් සනුක සංකලන ,සසදි සනුත්මි , සඳසි සනෙත්මි සහ සඳති සදෙව්මි ලෙසින් නම් තබා තිබේ.



මෙම සිවු නිවුන් දරුවන්ට වැඩිමහල් සහොදරයෝ දෙදෙනෙක් ද සිටිති.  රශාන් කෝවිද හා තුෂාන් තේනුලයි ඔවුන්ද එම පාසලේ 8  හා 4 පන්ති වල ඉගෙනුම ලබති.
 නිවුන් දරුවන්ගේ මව මෙසේ කියා තිබේ.
“මගේ දෙමවුපියන් නැහැ. සැමියාගේ මව පමණයි ඉන්නේ, දරුවන් හතරදෙනා පේරාදෙණිය මහ රෝහලේ දී ලැබිලා මාවනැල්ල කරපනේ නිවෙසට ආවාට පස්සේ විශාල කැපවීමක් කරලා දරුවන් හතරදෙනා ලොකු මහත් කර ගත්තා. එතකොට ලොකු දරුවන් දෙදෙනාත් පොඩියි. සැමියා නිතරම ගෙදර නෑ, රැකියාවට යනවා. මම මේ දරුවන් හතරදෙනා කවදා ද පාසල් අරගෙන යන්නේ කියලා හිත හිතා සිටියා. අද ඒ දවස උදා වුණා. ඇත්තටම ගොඩක් සතුටු දවසක් අද.
සැමියාගෙන් ලැබෙන ශක්තිය කොච්චර ද කියලා නිම කරන්න බැහැ. නමුත් සැමියා මාසයකට දෙකකට වරක් තමයි ගෙදර එන්නේ. මට උදවු කරන්නේ මගේ පුංචි අම්මයි මල්ලීයි විතරයි. මේ දරුවන් හත රදෙනා අරගෙන ඕනෑම තැනකට ගියොත් හැමකෙනාම මට මුල්තැන දෙනවා. ඒ අතින් අපේ රටේ ජනතාව හොඳයි. මගේ අනාගත බලාපොරොත්තුව මේ දරුවන් හයදෙනා රටට වැඩදායක පුරවැසියන් කිරීමයි "