Acosta-who-was-rescued-after-being-lost-in-the-Amazon-for-a-month

ලොව විශාලතම වැසි වනාන්තරය ලෙස සැලකෙන දකුණු ඇමෙරිකානු කලාපයේ පිහිටි ඇමේසන් වනාන්තරය තුළ මාසයක කාලයක් තනිවම ජීවත් වූ බොලිවියානුවෙකු බේරාගැනීම පිළිබඳව විදෙස් මාධ්‍ය ඊයේ (01දා) වාර්තා කළේය.

30 හැවිරිදි වියේ පසුවන ජොනතන් ඇකොස්ටා නම් මෙම පුද්ගලයා පසුගිය ජනවාරි මාසයේ 25වැනිදා සිය මිතුරන් කණ්ඩායමක් සමග ඇමේසන් වනයට ගිය අවස්ථාවකදී අතරමං වී තිබේ. ඒ අනුව ගත වූ මාසයක කාලය පුරා කෘමීන්, පණුවන් ආහාරයට ගනිමින් සහ වැසි වතුර මෙන්ම සිය මුත්‍රාද පානය කරමින් තමන් ජීවිතය රැකගත් බව ඔහු පවසා සිටියි.

 ඔහු පවසන තොරතුරු සහ දින වකවානු නිවැරදි නම් එතෙක් මෙතෙක් ඇමේසන් වනාන්තරය තුළ වැඩිම කාලයක් තනිවම ජීවත්වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඔහු ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔහු පිළිබඳව සෙවීම සඳහා වනාන්තරයට ගිය කණ්ඩායම වෙත ඔහුව හමුවී ඇත්තේ පෙබරවාරි 25 වැනිදාය.



"වනාන්තරයක අතරමං වුණාම ජීවිතය ආරක්ෂා කරගන්න භාවිත කරන්න ඕන ක්‍රමශිල්ප ගැන දැනුමක් තිබුණු නිසා මට ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. මේ කාලයේදී මට කෘමීන් පණුවන් ආහාරයට ගන්න සිදුවුණා, මගේ මුත්‍රා මට බොන්න සිදුවුණා. ඒ වගේම එක එක ආකාරයේ සත්තු මට පහර දුන්නා.” ඇකොස්ටා පවසයි.

ඇකොස්ටාගේ පවුලේ සාමාජිකයන්  බලධාරීන් වෙත වාර්තා කර ඇති ආකාරයට ඔහු මෙලෙස ඇමේසන් වනාන්තරයේ අතරමං වී ඇත්තේ පසුගිය ජනවාරි 25වැනිදාය. ඒ ඔහු තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග  වනාන්තරයේ දඩයමේ ගිය අවස්ථාවකදීය. කණ්ඩායම එකට සිටියත් එක් අවස්ථාවකදී ඔවුන් බෙදී වෙන්වී ගොස් තිබේ. අතරමං වූ බව දැනුණුවිට තමන් සිවිල් ජනාවාසයක් සොයමින් වනාන්තරයේ කිලෝමීටර් 40කට අධික දුරක් ඇවිද ගිය බවත්, තමන් එකම රවුමේ කරකැවෙමින් සිටින බව පසුව අවබෝධ වූ බවත් ඇකොස්ටා සඳහන් කරයි.

මේ අතරතුර කාලයේදී සිය ජීවිතය රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා තමන් සිය බූට් භාවිත කළ බව ඔහු පවසයි.
 "හැමදාම වහින වෙලාවට මම කරන්නේ බූට් සපත්තුවට ඒ වතුර පුරවා ගන්න එක. එතකොට මට පුළුවන් ඒවා බොන්න. හැබැයි පායන වෙලාවට මට බොන්න දෙයක් තිබුණේ නෑ.එතකොට මම මගේම මුත්‍රා බිව්වා.”



ඒ අනුව තමන් හැම අවස්ථාවේදීම දෙවියන්ගෙන් වැස්ස ඉල්ලූ බවත්, වැස්ස නොමැතිව තමන්ට එහි ජිවත් වීම අසීරු වූ බවත් ඇකොස්ටා සඳහන් කරයි. මේ අතර වනාන්තරයේ ගත කළ සෑම රාත්‍රියකදීම ඔහුට විවිධ ආකාරයේ සතුන්ගේ පහරදීම්වලට ලක්වන්නට සිදුව තිබේ.

ඔහුගේ පවුලේ අය කියා සිටියේ ඇකොස්ටා අතරමං වූ ආකාරය සහ ඔහු ජීවත්ව සිටීමට සමත් වූ ආකාරය පිළිබඳ සියලු තොරතුරු තවමත් එකට එකතු කරමින් සිටින බවයි. අත්දැකීමෙන් පසුව ඔහු තවමත් මානසිකව යහපත්වී නැති බැවින් ඔවුන් ක්‍රමයෙන් ඔහුගෙන් විමසන බවයි.
තමාට ජගුවර් ඇතුළු වන සතුන් හමු වූ බවද ඔහු තම ඥාතීන්ට පවසා ඇත.දකුණු ඇමරිකාවේ වැසි වනාන්තරවල දක්නට ලැබෙන ඌරන් වැනි රංචුවක් වන පෙකරි කණ්ඩායමක් තමා වට කළ බවත් උන් බිය ගැන්වීමට තමන් සතුව තිබූ තුවක්කුවේ අවසන් උණ්ඩය භාවිතා කළ බව ඔහු පවසා ඇත.

දින 31 කට පසු, ඔහු මීටර් 300 (අඩි 980) පමණ දුරින් සෙවුම් කණ්ඩායමක් දුටු අතර, ඔහු වෙත අවධානය යොමු කරන ලෙස කෑගසමින් සිටි නිසා කටු පඳුරු හරහා ඔවුන් දෙසට යාමට සමත්විය.  ප්‍රදේශවාසීන් හතර දෙනෙකු විසින් ඔහු සොයාගෙන තිබුණි.
සොයාගන්නා විට ඔහුගේ බර කිලෝග්‍රෑම් 17ක් අඩු වී, වළලුකර විස්ථාපනය වී තිබූ අතර ඔහු සොයා ගන්නා විට විජලනය වී ඇති නමුත් ඔහුව සොයාගත් අය කියා සිටි පරිදි ඔහුට කොර ගසමින් ඇවිදීමට හැකියාව තිබී ඇත.

මේ අතර දිවි ගලවා ගත් පුද්ගලයාගේ මිතුරන් සිව්දෙනා ඔවුන්ගෙන් වෙන් වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව පොලිසිය පැවසීය.