ගාලු මෝදර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (27)නියෝග කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී තිබේ.
එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් අභියාචනාධිකරණය එම තීන්දුව ලබාදුන්නේය.
පසුගිය මැයි 09 දා අරගලවලට පහර දීමේ සිද්ධි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අනුව පිරිස් අරලියගහ මන්දිරයට කැඳවා උසිගන්නා පිටත් කළ බවට චෝදනා පවතින හා එසේ ගමන් කරද්දී බාධාවක් නොකළ ජොන්ස්ටන් ප්‍රනාන්දු,සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මහින්ද කහදගම, ඩෑන් ප්‍රියසාද් , දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 25ක් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන ඒ අනුව අවශ්‍ය නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පසුගිය මැයි 16 වනදා උපදෙස් ලබාදී තිබුණි.
අනතුරුව මැයි 23 වනදා වාර්තා වූයේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවත්
අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට සහ ගාලුමවුදොර ගෝඨා ගෝ ගමට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුකූලව මෙම ස්ථාන මාරුවීම ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී තිබූ බවත්ය.
අනතුරුව ජුනි 22 දා විවෘත අධිකරණයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර තිබුනේ
මැයි මස 09 වැනිදා සිද්ධියට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂාග්රාහීව කටයුතු කරන බව අධිකරණයට නිරීක්ෂණය වන බවයි.
එහිදී උසාවයේ ඇතිවූ සංවාදය පහත පරිදිය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න : සී.අයි.ඩී. එක තාමත් දේශබන්දු තෙන්නකෝන් ගැන වචනයක් කියන්නේ නැහැ. ඔහුගේ නියෝග නිසා තමයි මේ සා විනාශයක් වුණේ. ඔබතුමා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන්න. මොහු ජනාධිපති වගේම පොලිස්පතිවරයාගේ නියෝග පවා පිළිගත්තේ නැහැ.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ:- (සී.අයි.ඩී.යෙන් විමසයි)
මේ නිලධාරියා ගැන මේ කියන චෝදනා ගැන මොනවද කියන්න තියෙන්නේ?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: නීතිපතිවරයාට උදෘත ගොනු කරලා තිබෙනවා. මේ සිද්ධියේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වගේම තවත් උසස් නිලධාරින් කිහිප දෙනෙක්ම එතැන ඉඳලා තියෙනවා.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ: ඒ නිලධාරීන් වළක්වලා තියෙන්නේ මේ නිලධාරියානේ. තවත් සුද්ද නොකර ඉන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා පෙන්නලා මේ දෙපාර්තමේන්තුව විනාශ කරන්න එපා. වතුර බෝතලයක් අතේ තියාගෙන පාර අයින්නේ හිටපු මනුස්සයෙක්ව අද අත්අඩංගුවට අරගෙන ඇවිල්ලා ඉදිරිපත් කරලා තියෙනවා. මොකද මේ නීතිය? මේ සිද්ධිය විමර්ශනය කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයතිලක කියලා කෙනෙක්. මෙතෙක් ඔහු අධිකරණයට ආවේ නෑ. අද ඇවිල්ලා ඉන්නවා. මේ සිද්ධිය ගැන මෙතෙක් කරුණු වාර්ත කළේ සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා කියන නිලධාරියා. මේ නිලධාරියා පක්ෂග්රාහීව කටයුතු කරන බවට අධිකරණයට හැගී ගොස් තිබෙනවා.
අනතුරුව පසුගිය 2022 නොවැම්බර් මාසයේදී ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා ය.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබුණි.
පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණය කර ඇති නමුත් දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියාකර නොමැති බවය.
ඒ අනුව “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසත් ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙසත් පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල රිට් පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අද (27) නියෝග කළහ.
0 Comments